ඊයේ දවස නිමා උනේ ගොඩාක් දේවල් හිතන්ඩ ඉඩක් ඉතිරි කරමින්. සයිබරයේ හැමෝම එකතු වෙලා කරපු බක්මහ උළෙල තමයි ප්රදානම දේ.
අපි මොන තරම් දේවල් වලට සාදාරණ විසඳුම් හොයනවද? ඒත් ඊයේ අවුරුදු උත්සවේ තිබ්බ හේතුවට තර්කාණුකූල පදනම මොකක්ද? කෙනෙක්ගේ කන් දෙක සුවපත් කරා කියලා අපිට ලැබෙන දේ මොකක්ද? ඒ උනත් ඊයේ අපි හැමෝම මොන තරම් සතුටු උනාද?
ගොඩාක් අය වගේම මමත් දැනුමින් ප්රස්න වලට පිළිතුරු හොයන්ඩ ගිහින් අතරමං වෙනවා, අපි ආගමට අනුව බැලුවොත් ඊයේ කරපු දේ පිනක්. ඒ උනාට එතන හිටියා කාටවත් ඒ පිනෙන් වැඩක් තියනවද? කාගෙ හරි හිතේ තිබ්බද මම මේ කරන්නේ පිංකමක් කියලා.
තර්කානුකූලව බැලුවොත් අපි කරන මේ දෙයින් අපිට ආපහු යමක් හම්බ වෙයි කියලා කවුරුත් හිතුවද? එහෙම කාට හරි ඕනි උනාද?
මම දන්නවා කාටවත් ඒ පිනවත් ආයේ ලැබෙන දේවත් වැඩක් නෑ කියලා. පිරිලා ඉතිරිලා යන මනුස්සකම ඉස්සරහා ඔය කිසිම දෙයක් ලබු ඇටයක් තරම් වත් වටින්නේ නැති බව මට තේරුනා.
මම කියන්නේ අපි කියන එකේ තැනුම් ඒකකය කියලා මම විශ්වාස කරා, ඒක එහෙමමද කියලා මට ඊයේ හිතුනා. අපි නැති දවසක මම ට මොකද වෙන්නේ කියලා මට කල්පනා කරන්න හිතුනා.
සමහර දේවල් තියෙනවා වචනයෙන් එහාට ගිය. හදවත පුරාම තියන ආදරය කාටද වචනයෙන් කියන්ඩ පුලුවන්. අපේ අම්මලා තාත්තලා සමාජය ආදරය ගැන අපේ ඔළුවට දාලා තියෙන්නේ මොන තරම් පටු අදහසක් ද කියලා මට හිතුනා. කොල්ලෙක් කෙල්ලෙක්ට කරන ආදරය, දෙමව්පියෝ දරුවන්ට කරන ආදරය, සහෝදරිය සහෝදරයාට කරන ආදරය, ඔය වගේ දේවල් විතරක් දැනගෙන හිටපු මම ඊයේ ආදරය කියන්නේ අපි දැනං උන්නු සීමාවට එහා ගිය නෙමෙයි, අසීමාන්තික දෙයක් බව ඉගෙන ගත්තා.සමාජය කියලා දුන්න ආදරය ගැන කිව්වොත් ඒක නිකම් මුහුදෙන් වතුර මිටක් අරන් මුලු මුහුදෙම හැටි කියනවා වගේ හිතෙන්ඩ උනත් වැඩි වෙලාවක් ගියේ නෑ.
ඉලංදාරියා ගැන් පුංචි ඉරිසියාවකුත් මගේ හිතේ ඇති උනා, මම, අපි, විතරක් නෙමෙයි මගේ අම්මලා තාත්තලා, අපේ අම්මලා තාත්තලා මොන තරම් ආදරෙයිද ඉලංදාරියාට? ඊයේ ගෙදර ආපු ගමන් අම්මා ඇහුවේ අර ළමයගේ වැඩේ මොකද කියලයි. කී දෙනෙක් නම් ප්රාර්ථනා කරනවා ඇත්ද ඉලංදාරියාට සුවපත් වෙන්ඩ කියලා.
ඉතිං ඉලංදාරියෝ උඹට අපි කියන දේවල් ඇහෙන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට උඹේ අතේ තියෙන පුංචි පොත ලබු ගෙඩියේ ඇට ගාන ලියන්ඩ හරි පෙට්ටියේ රහස ලියන්ඩ හරි ගන්ඩ පුලුවන් වෙයි...
ඊයේ මට ගියපු ගමන් උවමනා උනේ ඉලංදාරියාව බලා ගන්න, ඒක නම් එතනට ගියපු හැටියෙම කරගත්තා. මොකද ෆොටෝ ඕනි තරම් දැකලා තිබ්බනේ. ටිකට් ගන්ඩ ගියාම එතන පැත්තකින් උන්නු ඇස් දෙක පොඩි කරගත්ත හාදයාගේ පෙනුම දැක්කම ලඟින් ආපු පුසුඹත් එක්ක මේ නම් අනිවා ටක්කෙටම මගේ ලෝකය ලියන රංග වෙන්ඩ ඇති කියලා හිතුනා. ටිකට් එක දුන්න හාදයත් ටිකක් දැකලා පුරුදූ උනත් ඒ හැටි නිච්චියක් නෑ. ගිහින් පුටුවකින් වාඩි උනාම වෙලාවට බුකියේ මගෙ යාළුවෙක් හම්බ උනා,කොහොම උනත් අනිත් අය සතුටු වෙන එක බලන් ඉඳලා සතුටු වෙන්න කැමති හින්දම එහාට මෙහාට ඇවිදලාබැලුවා මිසක තරඟවලටනම් ඉඳිරිපත් උනේ නෑ.
අභී, දුකා, ඔබ්සර්වර් අයියාව එහෙමත් පළවෙනි පාරට දැකගත්තේ එදා තමයි. තව ගොඩාක් අයව මම අඳුනගත්තා, ඒ අයවනම් මාව අදුරගත්තඳ දන්නේ නෑ. කොහොම උනත් මට ෆන් පාට් එක ගැන ලියන්ඩ දෙයක් ඉතිරි වෙලා නෑ. හැමෝම ඒක ගැන ලියලා තියනවානේ. ඔන්න එහෙනම් මිථ්යාදෘෂ්ඨිකයාත් බ්ලොග් අවකාශෙට සජීවීව එකතු උනා.....
ප.ලි.
පොඩි දුකකුත් තියනවා, මම කැමතිම බ්ලොග් ලියන අයගෙන් පිනිබිඳු, නවම්මාවත, දෙන්නාම ඇවිත් හිටියත් අඳුන ගන්ඩ බැරිඋන එක. කමක් නෑ. අභී අයියාගේ එක හීනෙන් රෑ එලිවෙන්නේ නැතිවෙයිනේ, ඊලඟ හීනෙදිවත් බලාගන්නම්කෝ.