2011/01/31

දුලා..... 2 දෙවන කොටස

ෂමිල කියන්නේ මගේ ජීවිතේ මම දැකපු අවංකම, අහිංසකම සහ මෝඩම කොල්ලෙක් කිව්වොත් හරියටම හරි කියලයි මට හිතෙන්නේ..  ඔහුගේ ලොකුම දුර්වලතාවය තමයි ආදරය කියන්නේ. ආදරය කියන්නේ භයානක ආයුදයක් වගේ දෙයක් සතුරෙක්ට ඒ ආයුදය දුන්නොත් මොනවා වෙයිද? කවුරුත් හිතලා එහෙම කරන්නේ නෑ. නමුත් ගොඩ දෙනෙක්ට පස්සේ තමයි තේරෙන්නේ අපි ආයුදය දුන්නේ කාටද කියලා.


වසර 5කට පෙර
   මේක ලංකාවේ වැඩිය කතාබහට නොවන නගරයක ඒ තරම්වත් කතාබහට ලක් නොවන ගම්මානයක්. ගමේ ඕනිම කෙනෙක්ගේ හිත දිනාගත්තු බොහෝම ගුණ යහපත් තරුණයෙක් තමයි ෂමිල කියන්නේ. හැමදාම පාසල් යනකොට, ආපහු එනකොට දකින පුංචි සුරංගනාවියකට ෂමිලගේ හිත ඇදිලා ගිය හේතුව මහා අරුමයක් නෙමෙයි. කොහොම උනත් මේ සුරංගනාවිගේ හිතත් ෂමිලගේ පැත්තට ඇදෙමින් තිබුනේ ජීවිතයේ කිසිම වරෙක නොලබපු ආදරයක් බලාපොරොත්තුවෙන්. අවසානයේ ෂමිල තමාගේ ආදරය දිනාගත්තේ දහසක් අනාගත සිහින දකිමින්.
       මේ පොඩි කෙල්ලට කිසිම තේරුමක් නෑ තමන් කරන දේවල් ගැන, නමුත් ෂමිල ට තේරුනත් තමන්ගේ විභාගය ගැන, ඔහුත් කිසිදාක නොලබපු ආදරයක් වෙනුවෙන් කැපවුණා මිසක් තමන්ගේ විභාගයට සූදානම් උනේ නෑ. කොහොම උනත් උසස්පෙළ විභාගය ෂමිල ගේ ජීවිතයේ ලබපු එකම පරාජය කියලයි ඔහු හිතුවේ. ඔහු දන්නා නිසා තමන්ට වෙච්ච දෙය එයාගේ සුරංගනාවියටත් ඒ දේම වෙයි කියන බයට ඔහු හැමදේම ඇයගේ සාමාන්‍යය පෙළ විභාගයට කළින් ඇයට ඒක තේරුම් කරලා දීලා නැවැත්තුවේ ඇත්තටම ඇයට තිබුණ ආදරය නිසාම වෙන්න ඇති. කොහොම උණත් ඇයට එහෙම ඉන්න එකක් වටිනාකමක් තේරුනේ නැතත් ඔහුගේ පෙරැත්තය නිසාම ඇයත් හැම සම්බන්ඳයක්ම නවත්තලා සා.පෙ. විභාගයට මුහුණ දීලා. කන්ද උඩරට ජනප්‍රිය බාලිකා පාසලකට එන්න අවස්ථාව උදා කරගත්තා.
      මොන තරම් ඇයට යහපතක් කරන්න හිත හදාගත්තත් ෂමිලට මේ දුරස් වීම දරාගන්න අමාරු උනා. නමුත් ඇයට ඒ කිසිවක් පෙන්නුවේ නැත්තේ එයින් ඇයගේත් හිත් රිදෙයි කියන බයට. ඇය පාසලට ගියාට පස්සේ ඔහු දවස් ගාණක් මහන්සි වෙලා කුඹුරු වැඩ කරලා ඇයට ජංගම දුරකථනයකුත් අරන් දුන්නා. ඉතින් මේ අහිංසක ප්‍රේමවන්තයෝ දෙන්නා සතියකට සැරයක් දුරකථනයෙන් කථා කලා. ඒ හැම කථාවක්ම ඉවර උනේ පොඩි ඉකිබිඳුමකින්.


දුෂ්ඨයාගේ පැමිණීම
          මේ අලුතෙන් ආපු සුරංගනාවි ගැන තවත් ඇස් දෙකක් ඒ වෙනකොටත් යොමු වෙලා තිබුණා. ඇය දුරකතනයෙන් කතා කරලා අඩනකොට ඔහු හිතුවේ ඇය ගෙදර අය මතක් වෙලා අඩනවා කියලා. ඔහුගේ හිතෙත් රහසේම සෙනෙහසක් මෝදු වෙමින් තිබුනා. නමුත් ඔහු තරමක ආඩම්බර කාරයෙක් නිසා කිසිම සිතුවිල්ලක් පිටට පෙන්නුවේ නෑ. ඔහු හැම විටම ගෑණු දැරිවියකට යමක් කියන්න කලින් දහස් වරක් හිතන කෙනෙක් උනත් මේ පුංචි කෙල්ලට නිකරුනේ සැර දැම්මා. ඇයව අඩන තරමට බය කලා.
      ඉතින් ඔහොම යනකොට දවසක් මේ අය ඉන්න බෝඩිමේ ඇන්ටි එයාලව කානිවල් එකකට එක්කරගෙන ගියා. ඇන්ටිගේ දුවගේ පෙරැත්තය හින්දම වේගයෙන් කැරකෙන සමනළ යානයේ යන්න හැමෝටම අවසර දුන්නා. ඔතනදී අහම්බෙන් උනත් අපේ පුංචි සුරංගනාවිට වාඩිවෙන්න ඉඩ තිබුනේ අර හැමදාම ඇයට සැර දාන බය කරන නපුරගේ එහා පැත්තේ විතරයි. සමනළයානය වේගයෙන් කැරකෙනකොට බයට ඇයට අල්ලා ගන්න තිබුනෙත් අර නපුරගේ අත විතරමයි.
              ඇය ක්‍රමයෙන් යානය වේගවත් වෙනකොට, "අයියේ මම පොඩ්ඩක් අතින් අල්ලා ගන්නද කියලා ඇහුවා" මොන තරම් නපුරු විදිහට හිටියත් ඒකට එපා කියන්න තරම් හිතක් ඔහුට තිබුනේ නැති නිසා ඔහු නිශ්ශබ්ඳව හිටියා. මුළින් අතින් අල්ලාගෙන හිටි ඇය ටිකකින් තම මුහුණම තමා අකමැතිම පුද්ගලයාගේ පපුවේ සඟවා ගත්තේ සමනළයානය කිසිදා අත් නොදුටු අත්දැකීමක් නිසා වෙන්න ඇති. නමුත් මේ සිදුවීම ඔහුගේ සහ ඇයගේ හිත් සසළ කරවීමට සමත් උනා.
           වෙනදා ඔහු දැක්කාම සැඟවෙන ඇය ඉන් පසුව ඔහුව ගනන් ගත්තේවත් නෑ. වෙනදාට ඔහු ඉන්නකොට එලියටවත් නොඑන ඇය, පස්සේ ඔහුගේ ඇඟේ ගෑවෙන තරම් ලඟින් එහා මෙහා යෑමට පටන් ගත්තා, ඔහු මොනවා හරි කිව්වොත් වෙනදා තරහෙන් පුපුරන ඇස් පස්සේ  කඳුළින් පිරෙන්නට උනා. කොහොම උනත් ඇයගේ හිතේ දෙවෙනි වරටත් යමක් ඇතිවෙමින් තිබුනා.


ආදරයේ නාමයෙන්
         මේ අතරේ ෂමිලටත් යම් වෙනසක් තේරෙමින් තිබුණා. වෙනදාට ඉවරයක් නැතිව දොඩමළුවන ඇගේ මුව ගොළුවන බවක් ඔහුට දැනුනා. නිවාඩුවට ගෙදර එනකොට ඔහුට එන්න කියන ඇය තනියම එන්න පටන් ගත්තා. මෙසේ දහසක් දේ උනත් ඔහුගේ හිත් වෙනස් උනේ නෑ. ඔහු පුරුදු විදිහටම ඇයට හැම විදියකින්ම උපකාර කලා. මේ හැම දෙයක්ම ඇයට දැනුනේ කරදර විදිහටයි, අවසානයේ බොලඳ බස් තෙපළූ ඒ මුවින්ම ෂමිලට රස්සාවක්වත් නැති නිකමා යැයි කියන්න තරම් නපුරු උනා. ආදරයේ නාමයෙන් ෂමිල ඒ සියල්ල විඳ දරා ගත්තා. ඔහු ඒත් සිතුවේ ඇය තමන්ට ආදරය කරන නිසා තමා දිරිගන්වන්නට එහෙම කියනවා කියලයි.

එනිසාම ඔහු පොලීසියට බැඳුනා, ඇය කිව්වා ඇය පොලිස් කාරයන්ට කැමති නැති බව ඔහු පොලිස් සේවයෙන් දහසක් පුද්ගලයන්ට වැඳ අවසර ගෙන ඉවත් උනා. පස්සේ ඔහුට ඇත්ත තේරෙන්න ගත්තා. ඇය ආදරයේ නාමයෙන් තමාව රවට්ටන බව ඔහුට තේරුම් ගියා. තමාගේ ආත්ම පරිත්‍යාගයෙන් මලක් වගේ බලා ගත් ඇයම, පිටුපෑ බව ඔහුට තේරුම් ගියා. නමුත් ඔහුගේ ආදරයෙන් පිරුණු හිතට ඇයට වෙර කරන්නට බැරි උනා.
         ***************
   ඇයගේ හිතේ දුෂ්ඨ ආගන්තුකයා පෙරළියක් කර තිබුනා, ඇය ඔහු කතාකරන හැටි, කළාතුරකින් සිනාසෙන හැටි, උගත්කම, මිළමුදල්, බොහෝම නපුරු විදිහට රඟපෑවත් පොඩි ළමයෙක් වගේ හැඟීම්බර හිත, ෂමිලත් එක්ක සංසන්දනය කලා, ඒ හැම දෙයකින්ම ආගන්තුකයා  ඕනිවටත් වඩා ඉස්සරහින් හිටියා, නමුත් ඇය වැදගත්ම ආදරය, සෙනෙහස දෙක සංසන්දනය කරලා බැලුවේ නෑ..


අවසානය
      අන්තිමේදී දුෂ්ඨයාට නළුවා හම්බ උනා, නළුවාගේ ආදරය දුෂ්ඨයාගේ ඇස් වල කදුළු පුරවන්න තරම් ප්‍රභල උනා, හිතේ ඇඳිලා තිබ්බ සුරඟන රූපය බිඳිලා ගියා, ඔහුට අවසානයේ දැනුනේ []වාසනාවන්ත ආදර කථාවක ඉස්සරහට දාපු [අ] අකුරක් උනා කියන හැඟීම විතරයි. අන්න ඒ හැඟීම නතර කරගන්න ක්‍රමයක් නැති හින්දම, ඔහුගේ ජීවිතයේ දැකපු අහිංසකම, අවංකම, ආදරවන්තයාට පිදුමක් විදිහටයි ඔහු මේ කතාව ලිව්වේ.


ප.ලි.
   මම තේරුම් ගත්ත විදිහට ලෝකේ කිසිම කෙනෙක් හැඟීම් නිසා කරන දේවල් වලට වැරදි කාරයෙක් වෙන්නේ නෑ, කෙනෙක් හැඟීම් නිසා යමක් කරනවා කියන්නේ හැම වෙලාවෙම ඔහුට හෝ ඇයට තමා සාදාරණ බව පෙන්නන්න දහසක් හේතු ඉදිරිපත් කරන්න පුලුවන්. ඒවා බොරු උනා කියලා කිසිම වෙලාවක ඔහු හෝ ඇය වැරදි කරුවෙක් කියන්න එපා, මොකද ඒ හැම වෙලාවකම, හැම හේතුවකින්ම ඔහු හෝ ඇය තමන්ටම නිවැරදි වෙලා ඉවරයි.
-----------------------------------------------------------------------------
ඉරක් ගහලා මොකක්ද දන්නවද කියන්න යන්නේ... ඔය සුරංගනාවී කියලා හිතපු දුලා දැන් ආයෙත් මට මැසේජ් එවනවා. එයා කියනවා දහසක් කරුණු එයා සාදාරණයි කියන්න. ඉතිං ඒ නිසයි මගේ පසු වදන ඔය උඩ විදිහට දාන්න තීරණ කලේ....

2011/01/28

දුලා..... 2

මේක උනේ මම උසස් පෙළකරන්න බෝඩිමේ ඉන්න කාලේ. ඉස්සෙල්ලාම කියන්නම්කෝ බෝඩිම ගැන.


අපේ බෝඩිම...
  මේක තිබ්බේ කන්ද උඩරට කන්දක් උඩ. උඩ තට්ටුවේ හිටියේ ආතල් කොල්ලෝ සෙට් එකක් සහ අපේ බෝඩිමේ යට තට්ටුවේ හිටියේ ගෙදර මිනිස්සු සහ බෝඩ් වෙලා හිටිය ගැහැනු ලමයි කීප දෙනෙක්. මගේ පළමු බෝඩිම සහ දැනට අන්තිම බෝඩිමත් ඒක. ඒක මොන තරම් මට ෆිට් තැනක් උනාද කිව්වොත් මගේ ගෙදර තරමටම එතන මට ෆිට් උනා. බෝඩිමේ ඇන්ටිගේ හොදම නේවාසිකයා උනේ මම තමයි. මම ඉතිං කොහෙ ගියත් එතන ඉන්න වයසක සෙට් එක මාත් එක්ක ෆිට් වෙන බොහොම සාමන්‍යය දෙයක් වෙලා තිබ්බේ. කොහොම හරි සරලවම කිව්වොත් ඔන්න ඕකයි අපේ බෝඩිම ගැන සරලම හැඳින්වීම.


දුලාජීගේ ආගමනය...
   ඔන්න තවත් එක හැන්දාවක සුපුරුදු පරිදි ඇන්ටි මට කථා කලා ටී එක ගන්න එන්න කියලා. මමත් ඉතින් බොහොම අකමැත්තෙන් ගියේ තේ එක ගන්න, මොකද බෝඩිම් තේ එක ගැන බෝඩිම් වල හිටපු අය දන්නවා ඇතිනේ?
ඔන්න මම දැන් ගිහින් කොල්ලො සෙට් එකගේම තේ ටික උඩට ගෙනියන්න හදනකොට ඳොඳොල් වගයකුත් තියනවා, ඇන්ටිත් දුවලා ඇවිත් "දිනූ.... ඔය ඳොඳොල් ටිකත් ගෙනියන්න ඔයාලගේ ගමේ ඳොඳොල් ඔය අළුතෙන් ආපු නංගී ගෙනාවේ" කියලා කිව්වා. කෑමක් කිව්වොත් ඉතින් බෝඩිම් කාරයෝ මැරෙන්නේ නැති ටික විතරනේ. (සමහර වෙලාවට මරාගන්නත් යනවා) මමත් ඔය ටික ගන්න ආපහු එනවා කියලා හිතාගෙන තේ ටික උඩට ගෙනිහින් දීලා ආපහු පල්ලෙහාට ආවා. ඔන්න එතකොට තමයි ඇන්ටි "දුලාජී මෙහෙට එන්නකෝ මේ ඔයාලගේ ගමේ අයියා කෙනෙක්" කියලා කෑගැහුවේ. මමත් ඉතින් අපේ ගමේ කිව්වම ඳොඳොල් වගේම ඇති කියලා හිතාගෙන පොඩ්ඩක් වෙලා බලන් හිටියා.. (මේක අගෞරවයක් එහෙම නෙමෙයි කළු උනත් එයාල දැකුම් කළුයි.)
ක්.. ක්. කව්ද ඇන්ටී? ලැජ්ජාව බය එක්ක මිශ්‍ර උන ඒ වචන ටික මට තවම මතකයි. එහෙම කියලත් විනාඩියකට විතර පස්සේ කාමරෙන් එලියට ආවා කෙල්ලෙක් මම හරියට දැක්කේ නෑ ඒ වෙලාවේ. මොකද ඳොඳොල් තමයි මට ඒ වෙලාවේ වැදගත් උනේ. නමුත් මට නිමේශයකට ඒ මූණ දැක්කට පස්සේ ඇතිඋන හැඟීම් වචන වලින් කියන්න තරම් ලස්සන වචන ඒ දවස් වල තිබුනත් ඒ වචන අද වෙනකොට නැති වෙලා. ඒකට හේතුවත් ඔය දුලාජිම තමයි. ඉතින් මම වශී උනා කිව්වොත් හරියටම හරි නැති උනත් තරමක් දුරට හරි ඒකට ගැලපෙන්නේ ඒ වචනෙම තමයි.


මගේ සිහින දුලාජී..
   දැකපු ගමන් ආයෙ හැරිල බලන්න තරම් ලස්සන වගේම අහිංසක පෙනුමක්. පොඩි දේකටත් අඩන හරිම බොලඳ හිතක්. එකපාරක් බැලුවහම හදවත හිරිවට්ටන හිනාවක්. ඉගෙන ගන්න පුදුම උනන්දුවක් කැපවීමක් තියන් සුරංගනාවියක් තමයි දුලාජී කියන්නේ.  
ඉතින් මමත් එයාට පංති ඉවර වෙන වෙලාවට ඒ පැත්තේ යන්න. ජීවිතේට රෑට දත් මදින්නේ නැති මම රෑට දුලාජි එන වෙලාවර දත් මදින්න එහෙමත් පටන් ගත්තා.
කොහොම නමුත් ඔය විදිහට දුලාජි දැනගත්තා මම එයාට තරමක් දුරට කැමති කියන එක. එයා අකමැත්තක් පෙන්නුවෙත් නෑ.
ඉතිං ඔහොම යනකොට එක දවසක් ඇන්ටිලා කොහෙද ගමනක් ගියා, මට කියලා ගියේ දි.... අද රෑට පාන් ගේන්න මම කරියක් හදලා යන්නම් කියලා. එතකොටම තමයි මට මතක් උනේ දුලාජී නංගීත් පංති ගියා කියලා. ඒ කියන්නේ දැන්මම ගියොත් මට දුලාජී නංගිත් එක්කම එන්න පුලුවන් කියලා හිතාගෙන මම රත්නායක බේකර්ස් එකට ගිහින් දැන් බලන් ඉන්නවා දුලා එනකම්. ඔන්න එතකොට තමයි මගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එකක් ආවේ. කාලකණ්ණි රැල මගේ ප්ලෑන් එක කන්නයි යන්නේ.. ඔන්න එතකොටම දුලාත් ඈතින් එනවා දැක්ක නිසා මම යාළුවෝ ටිකව ශේෆ් කරලා පාන් ටික අරගෙන දුලාත් එක්ක බෝඩිමට එන්න පිටත් උනා.
ඔහොම ටික දුරක් එනකොට මගේ යාළුවෝ පිටි පස්සේන් ඇවිත් කෑගහන්න ගත්තා, "මෙන්න මුන් දෙන්නා ළමයින්ට කන්න පාන් අරන් යනෝ" කියලා,
ඕක මට ඒ තරම් ගානක් නැති උනාට දුලාට ගොඩාක් අවුල් වගේ මට තේරුනා. කොහොම උනත් ඔය සිද්දිය අපේ ඇන්ටිගේ කනටත් ගිහින් තිබ්බා.


ඇන්ටිගේ කතාව, සිහිනය සහ යථාර්තය...
        දවස් 3කට පස්සේ නිවාඩු දවසක ඇන්ටි මට කතා කළා. ඊට පස්සේ දිග...... කතාන්දරයක්ම කිව්වා. මම ඔය ටික විශ්වාස කලේ නෑ. ඇන්ටි කියපු කතාවේ එක තැනකවත් දුලාගේ හොදක් නම් තිබ්බේ නෑ. ඒ උනාට මම එක දශමයක් වත් ඒ කතාව විශ්වාස කලේ නෑ. නමුත් ඇන්ටි එදා මට කොල්ලෙකුගේ නමක් කිව්වා. මට ඒක මතකයේ හොදට තිබුනේ ඉරිසියාවකුත් එක්ක.
     කොහොමින් හරි ඉස්කෝලේ නිවාඩුවට මම ගමේ ගියා. ඒ වෙලාවේ මට හිතුනා අර කොල්ල ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. ඉතින් මම යාළුවෙකුත් එක්ක පොඩි විසිටිං පාරක් දැම්මා දුලාජි ලාගේ ගෙවල් පැත්තේ. මගේ යාළුවාගේ හොද යාළුවෙක් හිටියා ඒ පැත්තේ. අපි ඉතින් ඒ යාළුවාගේ ගෙදරට තමයි ඉස්සෙල්ලාම ගියේ.
එතනදී අහපු කතාව ඇහුවට පස්සේ මට ඇස් වලට කදුළු එන එක නවත්තගන්න බැරි උනා.
              ඒ තමයි මගේ ඇස්වල වෙන කෙනෙක් වෙනුවෙන් නැඟුණු උණුසුම්ම කදුළු බිංදු කීපය. ඒ කතාව ඇහුවට පස්සේ තමයි මට හිතුනේ කෙල්ලෙක්ට මේ තරම් චපල වෙන්න පුළුවන්ද කියලා.
දෙවියනේ ෂමිලගේ ඒ දුකට හේතුව මම කියලා එයා දන්නවනම්.. මට ආපහු ගෙදර එන්න වෙන්නේ මිනී පෙට්ටියක තමයි. ඒ උනාට මට තාම හිතා ගන්න බෑ ඒ තරම් වටින කොල්ලෙක් මොන එහෙකට අත ඇරියද කියලා මම වගේ පුහු ආටෝප කාරයෙක් නිසා..


මේක මෙගා නාට්‍යයක් කරන්න හදනවා නෙමෙයි. මම ෂමිලගේ සහ දුලාජිගේ කතාව ඊලඟ පෝස්ට් එකට දාන්නම් දැනටමත් මේක දිග වැඩි නිසා.


ප.ලි.
  කෙනෙක්ගේ ගැන අපේ හිතේ මවාගන්න රූපයම ඒ කෙනා දකින ගොඩාක් දෙනා මවා ගෙන තියන බව අපි කවදාවත් අමතක කරන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි බැලූ බැල්මට නිගමනය කරන දේවල් බොහෝ විට ඒ පුද්ගලයාගේ චිත්ත ස්වරූපය, හැසිරීම්, හැඟීම් පාලනය කරනවා. එතකොට ගොඩාක් වෙලාවට එයා ඒ විදිහේ සීමාවන් තුළම ජීවත් වෙනවා. නමුත් කවදාහරි ඒ තුළ සැඟවුන වානරයාත් එලිය එන බව අමතක කරන්න එපා...

2011/01/26

දුලා.....


අද මම දාන්න යන්නේ දුලා ලා දෙන්නෙක් ගැන කතාවක්. කොහොම උනත් මම දැන් දන්නවා දුලා කියන නම මුලට එනවනම් ආයේ ඒ කෙල්ල දිහා හැරිලවත් බලන්න නම් හොද නැති බව.

දුලාරී.....
      මේක උනේ මම සාමාන්‍යය පෙළ කරන කාලේ. මම ඉතින් ඔය කාලේ හොස්ටල් එකේ තමයි හිටියේ. ඉතින් මම පංතියකට කියලා ගියේ ඉංග්‍රීසි වලට විතරයි. කොහොම උනත් අපේ යාලුවෙක් ගේ අදහසකට එකඟ වෙලා අපි සෙට් එකම තීරණය කලා විද්‍යාව සම්මන්ත්‍රණයකට යන්න. කොහොම හරි මගේ ජීවිතේ පළවෙනි පාරට හෝල් ක්ලාස් එකක අත්දැකීම ගත්තේ එතනින්.   
සම්මන්ත්‍රණයේ පළමු දවස
  ඔතන මම සහ හොස්ටල් ඉන්න සෙට් එකට ඇරුනම අනිත් හැම එකාම කෙල්ලෝ හොදට අදුරනවා. ඉතින් මම වැඩිය සද්ද බද්ද නැති පොරනේ. ඉතින් මම හොස්ටල් හිටපු අනිත් උන් ඒ චාන්ස් එකෙන් උපරිමේට ප්‍රයෝජන ගන්න කොට අපරාදේ රුපියල් 500 කියලයි මම කල්පනා කලේ. මොකද සම්මන්ත්‍රණයට 500ක් දීලා තමයි සහභාගී උනේ. ඉතින් මම පැත්තකට වෙලා ඉන්නකොට මට නිකම් දැනෙනවා කෙල්ලෝ සෙට් එකක් මගේ පැත්ත බලාගෙන මොනවද කියවනවා. ඔය කාලේ ඉතින් දැන් වගේ නෙමෙයි නේ, මම හෙන අහිංසකයා මම ඉතින් දැන් හොදටම රතු වෙලා. මම ඉතින් මගේ හොස්ටල් සගයෙක්ට කිව්වා කේස් එක. පොරත් පොඩ්ඩක් ඒ පැත්ත බලලා ආහ්! අර ඉන්නේ ***** ගේ බඩුවනේ මම අහලා බලන්නම් මොකක්ද කේස් එක කියලා ****** හම්බවෙන්න ගියා. පොර ටිකකින් හිනා වෙවී එනවා. එතනින් දුලාරි කියන ගෑණු ළමයාට මගේ ගැන පිලිබද හිතක් පහල වෙලා වගේ ලු... 
මම ඉතින් ඔය කාලේ මගේ පළවෙනි ප්‍රේමයට හිතින් මුලපුරලා තිබ්බ නිසා ( ඒ උනාට ඒ ගෑණු ළමයා දන්නෙත් නෑ)  මම කලේ ඔය කතාව වැඩිය ගනන් ගත්තේ නෑ. අඩුම ගානේ දුලාරී කියන්නේ කව්ද කියලවත් බැලුවේ නෑ (හැමෝම යනකම් ඉදලා පොඩ්ඩක් බැලුවට අදුරගන්න බැරි උනා ඒ වෙලාවේ) පස්සේ ඔය සම්මන්ත්‍රණය ඉවර වෙලා යනකොට, ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක මාව වට කරගෙන මට කියනවා, උඹ අර යන කෙල්ලට පුලුවන්නම් කතා කරලා කියපන් මේ යාළුවෝ කියන්නේ ඇත්තද කියලා, මට ඒක කරන්න තරම් ආත්ම්විශ්වාසයක් ඒ කාලේ තිබ්බේ නැති උනත් ලඟින් යනකොට අර කියපු වචන ටික අමාරුවෙන් කිව්වහම තේරුණේ ඒක මාර effective වචන සෙට් එකක් කියලා. මොකද ඒ කෙල්ල තමයි මම නොදැකපු මාව දැකපු දුලාරී. කෙල්ල රතු උනා ඇස් වලට කදුළු පිරිලා වගේ දැක්කා ඒ එක්කම ඒකි දුවලා ගේට්ටුවෙන් එලියට ගියා. ඔන්න ඕකයි අපේ පළමු හමු වීම.
සම්මන්ත්‍රණයේ දෙවන දවස
    දෙවෙනි දවස පටන් ගත්තේ මහා අමුතුම විදිහට, උදෙන්ම මම ජීවිතේට දැකලා නැති කෙල්ලො සෙට් එකක් ඇවිත් ගුඩ්මෝර්නින්ග් කිව්වා, සෙමිනා එක පටන් ගත්තට පස්සේ උන් සෙට් එකම මට හිනා වෙනවා. අස්සෙන් පේනවා අර කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි. මම ඉතින් ඔය වගේ වෙලාවට ඒ දවස් වල ඕනි කෙනෙක්ට දෙන උපදෙස තමයි පැනලා දුවන්න කියන එක. මමත් ඉතින් පැනලා දුවන්න චාන්ස් එකක් ලැබෙනකම් හිටියේ. 
ඔන්න එතකොට තමයි ඉන්ටර්වල් දුන්නේ. හොස්ටල් උන් සෙට් එකට පළවෙනි දවසේ තිබ්බ කික් එක නෑනේ. ඉතින් හොස්ටල් එකෙන් එලියට පැනගත්තු වෙලාවේ මොකක් හරි පිස්සුවක් නටන්න යන්න ඕනි උනා. මටත් ඉතින් නියම චාන්ස් එක. අපි සෙට් එකම පොඩි වලක් බැස්සා. ගියාට පස්සෙනම් මට දෙපාරක් විතර හිතුනා අපරාදේ මට ඉන්න තිබ්බේ කියලත්. 

දෙවෙනි දවස ඉවර වෙලා ආපහු හොස්ටල් එකට ආවට පස්සේ තමයි මම නැති අතරේ සෙමිනා එකේ වෙලා තිබ්බ දේවල් දැනගත්තේ. මගේ හොදම යාලුවෙක් අපේ වලට සෙට් උනේ නෑ. පොර මගේ පාට් එක හොදට කරලා. මම දුලාරිට කැමතියි සහ තව නොයෙක් කතා ගොඩක් කියලා. 

සම්මන්ත්‍රණයේ තෙවන දවස
   එදා උන දේවල් මමත් හරියටම දන්නේ නෑ මොකද මට සහ අනිත් උන්ට එපා වෙලා තිබ්බේ ඔය සෙමිනා කෙරුවාව. ඉතින් මම ටිකක් දවල් වෙනකම් නිදාගත්තා. ඔය අතරේ ඒකට ගියපු මගේ යාළුවෝ මම ගැන බොරු ආරංචියක් පතුරවලා, මම බස් එකට නගිනකොට වැටිලා කකුල මොකක්ද වෙලා කියලා. ඉතින් ඕක අහලා දුලාරී ඇඩුවලු. එයාගේ ඉස්කෝලේ යාළුවෝ ටික මාව බලන්න හොස්පිටල් යන්නත් සෙට් වෙලා. කොහොම හරි මගේ ප්‍රේමණීය මාරයෝ ටික ඒක ශේප් කරලා. 
ඔය කතාව ඇහුවට පස්සේ තමයි මට දෙලෝ රත් උනේ. යකෝ මේ කෙල්ල ඇඩුවා? මම හින්දා?? මල කෙලියයි. මේක හරියන වැඩක් නෙමෙයි. මම මගේ චරිතේ කරපු මාර යාළුවාටම කියලා මටම මඩ ගස්සාගන්න තීරණය කලේ ඊට පස්සේ. කොහොම උනත් ඌ ඒ වැඩේ නම් මබ කිව්වටත් වඩා හොදට කරලා තිබ්බා.
මම පෙනුමට අහිංසකයා වගේ හිටියට කෙල්ලෝ ගොඩාක් චාටර් කරපු පොරක් කියලත් මේකා කියලා. අර කතාවක් තියනව නේ ඉබ්බා දියට දැම්මම දැං නෑවේ කියලා ඒ වගේ තමයි. කොහොම හරි දැන් මම චාටර් පොරක්. ඒත් කමක් නෑ දැන් ඒ කරදරේ ඉවරයිනේ කියලා හිතාගෙන හිටියා. 

අවුරුද්දකට පස්සේ මගේ යාළුවෝ කාටවත් අර ගෑනු ළමයාගේ ඉස්කෝලේ ගාවින් යන්නවත් බැරි තත්වයක් ඇති වෙලා තිබ්බේ. ඒ තියා මම යාළුවෙක් කියලා දැනගෙන ඒ ඉස්කෝලේ කෙල්ලෝ අපේ කොල්ලොන්ව අත ඇරපු අවස්ථා කීපයකුත් තිබ්බා. කොහොම උනත් කවුරුත්ම දන්නේ නැති මම හෙන ජන[අ]ප්‍රිය ප්‍රසිද්ඳ පුද්ගලයෙක් බවට පත් උනා. ඔය සිදුවීමෙන් පස්සේ.
ඔය අහිංසක දුලාරී මට ගැලපෙන්නේ නෑ කියලා හිතුවත් මට දුලාජී හම්බ උනාට පස්සේ හිතුනා දුලාරී මොන තරම් හොදද කියලා. ඒ කතාව මම ඊළග පෝස්ට් එකට දාන්නම්කෝ.

ප.ලි.
  කොහොම උනත් වයසත් එකක සමාජය හැසිරෙන විදිහ මට තේරුම් යනකොට. මම ඒ තේරුම් ගැනීම් අනුව මගේ අත්දැකීම් වෙනස් කරගෙන තියනවා කියලා මට තේරුණා. උන දෙයක් වෙනස් කරන්න බෑ කියලා කිව්වට අපි හැමෝම අපිට ඕනි විදිහට පොඩි පොඩි වෙනස්කම් අපේ අත්දැකීම් වලට කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. 

2011/01/18

තනිකම.....

යාළුවෝ ගොඩාක් මැද හිටියත් මම තනිවෙලා වගේ දැනෙනවා.
ගෙදර හැමෝම හිටියත් මට තනිකමක් දැනෙන්නේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ.
ඔයා නැති හැම වෙලාවකම මට තනිකමක් දැනෙනවා.....
                ඔය තමයි අපේ පරම්පරාවේ තනිකමේ අර්ථකථන, ඕකට ඉතින්  තව වෙනස් විදි කිහිපයකුත් තියෙන්න පුලුවන්. ඔය කොහොම උනත් තනිකම කියන දේ මොන තරම් සාදාරණද කියන එකනම් මට අද ප්‍රශ්නයක් උනා.
ඉතින් ඔන්න අහන්නකෝ කතාව..
මම අද ගියා ඉන්ටර්විව් එකකට. ඉතින් දුන්නා පේපර් දෙකක්, දෙකම ලිව්වා උණු කිරි සහ ඇල් ජලය වගේ. ඊට පස්සේ පොරක් ඇවිත් පේපර් ටික අරන් ගියා, ඒ ටික ඉක්මනට බලලා අපි පිලිවෙලට ඉන්ටර්විව් එකට ගන්නවා කියලයි මිනිහා ගියේ. ඉතින් අපිත් බලන් හිටියා පැය දෙකක් විතර...


ඔය පැය දෙකේ පළවෙනි විනාඩි 10ය ගෙවෙනකොට මට දැනුනා මාර පාළුවක් මම ඉතින් ඒ වෙලාවේ හිතාගත්තා මේකට වෙන්න ඇති නියම තනිකම කියන්නේ කියලා. ඒ උනාට මට තවත් විනාදි 10ක් යන්න කලින් ඕක තනිකම නෙමෙයි කියලා හිතුනා එහෙම උනේ. මගේ ලඟ තිබුන කොල කෑල්ලක පෑනෙන් බලි රූප අදින්න ගත්තම ඒක නැති උන නිසයි. ඉතින් දැන් මට තනිකම කියන්නේ මොකක්ද කියන එක අත්හදා බලන්න ආශාවක් ඇති උන හින්දා මම ඊලඟට පෑන සහ කොලය ඇතුළු මගේ සියළුම උපකරණ ටික බෑග් එකට දාලා ඒක පැත්තකින් තිබ්බා ඔන්න දැන් ආපහු තනිකම තියනවා කියලා මට දැනෙන්න ගත්තා.....


ඒකත් විනාඩි 3ක් විතර ඊට පස්සේ ඇස් දෙකට පේන දේවල් ගැන කල්පනා වෙනකොට ආයෙමත් එතන තනිකමක් නෑ කියලා හිතුන නිසා ඇස් දෙක පියාගත්තා. ෂහ්! දැන්නම් හරි මේක තමයි තනිකම කියලා හිතාගෙන ටික වෙලාවක් ගියහම අපේ ගෙදර තියන ලී බඩු වල අද උදේ ආපු බස් එකේ රූප මගේ හිතේ ඇදෙන්න ගත්තා. ඔන්න ඒ වෙලාවේ තමයි මට ඌරුජුවල් නැග්ගේ. යකෝ තනිකම ඇත්තටම හොයන එක මොන තරම් අමාරුද කියලා. ඇත්තටම කිව්වොත් මට පැය දෙකම තනිකම කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ගියාම ඇත්තටම තනිකමක් දැනුනෙම නෑ.


ඒ උනාට මට ඉක්මණින්ම කල්පනා උනා බොරුවක් ඇත්ත කරන්න බැරිබව. මම කලින් කියපු විදිහට හැඟීම් කියන්නේ බොරුවක් නේ. ඉතින් අපි ඔව්වට පදනම් මොන තරම් තර්කාණුකූලව හෙව්වත් ඔය ටිකම තමයි කියලා මට තේරුම් ගියා.


ඇත්තටම කිව්වොත් මේ ලෝකේ එක දවසක් හරි ජීවත් උන මිනිහෙක්ට අවුරුදු සීයක් උනත් තනිකමක් දැනෙන්නේ නැතිව ඉන්න පුලුවන්. ඒ උනාට අවුරුදු 100ක් ජීවත් උන මිනිහෙක්ට එක තත්පරයකුත් ඇති හැඟීම් වලට වහල් වෙලා තමන් තනි වෙලා කියලා හිතන්න. ඉතින් ඇත්තටම මට ඕනිනම් තනිවෙලා කියලා හිතන්න මට ඒක මේ වෙලාවෙම හිතාගන්න පුලුවන්. ඒ වගේම හිරකාරයෙක්ට තමන් තනිවෙලා නෑ කියලා හිතාගෙන අවුරුදු 100ක් උනත් ඉන්නත් පුලුවන්. ඔන්න ඕකයි මට කල්පනා උන ඇත්ත.


ප.ලි.


ඉතින් අපි ආදරේදී සුන්දර වචනයක් විදිහට වෙනත් කතා වලදී දුක්බර වචනයක් විදිහට ගන්න තනිකම කියන වචනයට තේරුමක් වත් නෑ කියලා හිතුනම මටත් ටිකක් විතර අප්සට් වැඩක් වගේ කියලා නම් හිතුනා. ඒත් ඉතින් මේ අහින්සක මම මොනවා කරන්නද?

2011/01/11

මතක සැමරුමක්....

මේක පොඩි ඔට්ටුවක් නිසා මම ලියපු නිසඳසක්, 
          මම කියන්නම්කෝ මොකක්ද ඔට්ටුව කියලා. මම සාමාන්‍යය පෙළ ලියන කාලේ හිටියේ පාසලේ නේවාසිකාගාරයේ, ඉතින් ඕකේ තිබ්බා බිත්ති පුවත්පතක්, ඕක යාවත්කාලීන වෙන්නේ වාරයකට සැරයයි.
මුළු නේවාසිකාගාරයේම ළමයි 100කගෙන් විතර ලිපි අරගෙන තෝරාගත් ලිපි 12යි ඒකේ දාන්නේ. 
ඔකට ඉතින් ලිපියක් දාගන්නවා කියන එකත් ටිකක් අමාරු වැඩක් උනත්, මම නේවාසිකාගාරයේ හිටිය අවුරුදු 5 ඇතුළත මගේ ලිපි 10ක් විතර ඕකේ දාලා තිබ්බා. 
ඕක ඉතින් හොස්ටල් එකනේ එතකොට පොඩි පොඩි නීති සීමා තියනවා, ඒ සීමා ඇතුළත ඉදන් ලියන්න ඕනි ලියන හැමදෙයක්ම. ඔතන දාන ලිපි දෙමව්පියෝ බලන නිසා ආදරය කියන මාතෘකාව තහනම් මාතෘකාවක් ලිපි ලියන්න. 
ඉතින් මොකක්ද කියන්නම්කෝ ඔට්ටුව.,,
13 වසරේ අයියලා සෙට් එක මට කිව්වා උඹේ ලිපි තමයි මේකේ වැඩිපුරම දාලා ඇත්තේ හා පුලුවන්නම් අන්තිම ලිපිය හැටියට හොද ආදරය ගැන කියවෙන වල් ලිපියක් දාලා පෙන්නපන් පුලුවන්නම් කියලා.
ඉතින් මමත් හා බලමුකෝ කියලා ශේප් උනා. එතකොට මගේ දැන් තියන ප්‍රේමය ගැන ආකර්ශණයක් ඇතිවෙමින් තිබ්බ කාලේනේ. ඉතින් මගේ ඔලුවට ඔය වගේ නිසඳෙස් කීපයක්ම ඇවිත් තිබ්බත් ඔව්වට බිත්ති පුවත්පතට දාන්න අවසර ගන්න වෙනවනේ නේවාසිකාගාර පාලකතුමාගෙන්. අන්තිමේට මම තීරණය කලා ලිපියක් ලියලා පස්සේ ඔය දේ ගැන කල්පනා කරලා බලන්න.


ඔන්න ඉතින් මම ඒක දාන්නම් මේක ටිකක් දුර්වලයි කියලා මටත් දැන් හිතෙනවා නමුත් මම මේක ලිව්වේ 11 වසරේදී නේ, වෙනස් කලොත් වැඩක් නැතිවෙයි කියලා හිතුන හින්දම මම ඒක ඒ විදිහටම දානවා.
ඔන්න එහෙනම් කියවන්නකෝ මගේ පෙරළිකාර ලිපිය... :D








...මගේ කුළුඳුල් ප්‍රේමය...
ටියුටරියේ මුව අභිමුව දසන් විදහා සිනාසුන නුඹ
මගේ සිත්මල ඔකඳ කරමින් මගේ අසලම රැඳී සිටි නුඹ
මගේ පපුවේ රෝම පිරිමැඳ මගේ සවනට රහස් කී නුඹ
නුඹේ සියුමැලි ළපටි බඳ වට මගේ දෑඟිලි වෙලාගත් නුඹ


දොළහෙ කණිසම වදින විටදිත් මගේ තුරුළෙම රැදී සිටි නුඹ
මගේ සයනයේ මගේ උරමත නිමක් නොමැතිව සුසුම් හල නුඹ
මගේ දෙතොලේ උණුසුමෙන් නිති මගේ පහසම සොයා ආ නුඹ
මගේ අදිටන මගේ අරමුණ මටත් වැඩියෙන් අගය කළ නුඹ


මගෙන් පුද ලද නුඹේ පහසින් දිරිය ගෙන නිති ලොව දිනමි මම
මගෙන් පසු නුඹ තවත් කෙනෙකුට උරුමකරන්නේ කෙළෙසකද මම
වසර පුරාවට මාව සැනසූ මගේ කුළුඳුල් ප්‍රේමියේ මම 
සමුගනිමි මම අවසරද මට නුඹයි මාගේ විඳ්‍යාව පොත......


ඉතින් ඔන්න ඕකයි ලිපිය. මම තමයි ඒ වාරේ බිත්ති පුවත්පතේ කතෘ, මම ඉතින් ඔය ලිපියත් ඇතුළුව අනිත් ලිපි 11ත් අරගෙන ගියා නේවාසිකාගාර පාලකගෙන් අවසර ගන්න. ෆයිල් කවරයේ අන්තිමේටම මගේ ලිපිය දාගෙන ගියේ ටිකක් බයටත් එක්ක. කොහොම හරි අනිත් ලිපි 11ම බලපු නේ.පා. (පොර මාත් එක්ක ටිකක් වලි) ඒ කොළේ අනිත් පැත්ත හරවලත් බලලා මගේ නම කියලා ..........  කාගෙද මේ ලිපිය??
මගේ සර්.,, ඒ මගේ උත්තරේ.
හ්ම්.. මමත් දැක්කා දවස් දෙක තුනක්ම විඳ්‍යාව පොත පපුව උඩින් තියාගෙන නිදාගෙන ඉන්නවා,,,, මේක දානකොට අන්තිම පේලිය highlight කරලා දාන්න කියපි.
ඔන්න ඔය විදිහට කොහොම හරි මම ඔට්ටුව දිනුම්...








ප.ලි.
කොහොම උනත් මම හොස්ටල් එකෙන් අස්වීමේ සහතිකය ගන්න යනකොට ඒ ලිපිය නැතිවෙලා.
කොහොමහරි ඒක මාස 3ක් බිත්ති පුවත්පතේ තිබ්බා, ආපු ගියපු දෙමව්පියන්ගේ මූණු හිනාගස්සන්නත් සමහර අයගේ මූණු බෙරි කරවන්නත් ඒකට හැකි උනා. ආහ්! තවත් එකක් පොඩි කාලෙ ඉදන්ම තහනම් දේවල් ඒ සීමාවන් ඇතුළෙම ඉදන් කරලා පෙන්නන ආශාවක් මට තිබුනා, ඒක තවමත් තියෙනවා... තව දෙයක් මගේ පපුවේ රෝමනම් තිබ්බේ නෑ ඒ දවස් වල :D





2011/01/07

ආදරයට ඌණ පූර්ණයක්....

අපේ සමාජයේ ආදරය කරන නොකරන, ඒ ගැන දන්න නොදන්න හැම කෙනෙක්ම මේ දේ ගැන එක එක විදිහට හිතන බව මම දන්නවා, ඒ උනාට මේ දේ ගැන මගේ අදහසත් මම කල්පනා කරලා බලලා තීරණය කලා පෝස්ට් එකක් විදිහට දාන්න.
තවත් කාරණයක් මෙතන මම මේක දාන්නේ මනුස්සයෙක් මිස රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් නොවෙයි, ඒ නිසා ඕනි තරම් වැරදි තියෙන්න පුලුවන්. ඔබ ඒ වැරදි නිවැරදි කරනවානම් මම බොහෝම සතුටු වෙනවා.


අද සමහරක් අය තමන්ගේ ආදරය කාමයෙන් තොර රාගයෙන් තොර සුරම්‍යය සඳ එලිය වගේ යැයි කියනවා. එහෙමත් නැත්නම් විස්වාස කරනවා. ඉතින් මේ කතාව මොන තරම් ඇත්තද එහෙමත් නැත්නම් බොරුද කියන එක කථා කරන්න වටින දෙයක් කියලා මම හිතුවා.


 ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??

ඒක මගේ විදිහට අර්ථකථනය වෙන්නේ මේ විදිහටයි. අපි පරිණාමනයේදී මුලින්ම සත්තු මරලා අමුවෙන් මස් කෑවා. පස්සේ ගින්නෙන් පුළුස්සලා කෑවා. දැන් අපි බොහෝම පිළිවෙලකට උයලා රසකාරක එකතු කරලා අමුතු නම් දාලා කනවා. ඔතනදී නම වෙනස් උනාට අපි කන්නේ බඩගින්නට නේ. ඒ වගේ තමයි ආදරයත්. අපේ ලිංගික ආශාවන්ට රසකාරක දාලා හදපු දෙයක් තමයි ආදරය කියන්නේ. ඔතනදී මමත් පෘථග්ජන මිනිහෙක් හැටියට ආදරය කියන දේට කැමතියි, ලිංගිකත්වය පොඩ්ඩක් පැත්තකට කරලා තමයි කතා කරන්නේ, නමුත් ඇත්තටම අපිට ආදරය ඇති වෙන්න හේතුව මොකක්ද? අපි නිරුවත් කම වහගන්නේ අනිත් මිනිස්සු හිනා වෙයි කියන බයටනේ, සභ්‍යත්වය ශිෂ්ඨ සම්පන්න බව කියලා කොහොම කිව්වත් ඇත්ත කතාව අනිත් අය හිනා වෙයි කියන බයටයි අපි ඇදුම් අඳින්නේ.
අන්න ඒ වගේ ආදරය කියන්නෙත් ලිංගිකත්වය ලස්සන කරන්න අන්ඳපු ඇදුමක් වගේ.


අතුරු කතාවක්!!


කෙනෙකුට හිතෙන්න පුලුවන් දෙමව්පියොන්ට තියන ආදරය ගැන මොකක්ද කියන්නේ එතකොට කියලා..
මේක මම උනත් සාමාන්‍යය මිනිහෙක් විදිහට කියන්න කැමති නෑ. නමුත් එතන තියන දේ වෙනස් දෙමව්පියො දරුවන්ට දක්වන ආදරය හරියටම අපි වටිනා වස්තුවකට දක්වන ආදරයට සමානයි. ඒ අය තමන් සතු වස්තුවක් හැටියට දරුවන්ට ආශා කරනවා. නමුත් දරුවන්ගේ පැත්තෙන් ඒ ආදරය ආපහු යන්නේ කළගුණ සැලකීමක් විදිහට. ඒක නිසා තමයි සමහර දරුවෝ දෙමව්පියන්ට සළකන්නෙත් සමහරු නැත්තෙත්. ඇත්තටම කල්පනා කරලා බලන්න කෙනෙකුගෙන් ඇහුවොත් දෙමව්පියෝද ඕනි දරුවොද ඕනි කියලා ඇහුවොත්?? ඇත්තටම මොකක් වෙයිද? මේක කියවන මගේ සමකාලීනයෝ හිතයි දෙමව්පියෝ ඕනි කියලා, නමුත් එයාලගේ දෙමව්පියොන්ගෙනුත් මේකම ඇහුවොත් එයාලා මොනවා ඉල්ලයිද???
ඒක සාදාරණීකරණය කරන්න මොන තරම් කතා කිව්වත් ඒ දේ තමයි ඇත්ත.


මොන දේ උනත් මට මේක ලියනකොට හිතුන දෙයක් තමයි අපි භාවිතා කරන සන්නිවේදන ක්‍රමය වන භාෂාව මොන තරම් ප්‍රාථමිකද කියන එක. අපිට හරියටම වචන වලින් අර්ථ දක්වන්න බැරි මොන තරම් දේවල් තියනවද?  අපි සමහර දේවල් දැනගෙනත් ඒ දේවල් කියන්න මොන තරම් වටේ යන්න වෙනවද?


කොහොම උනත් මමනම් හිතන්නේ ආදරය කියන්නේ ලිංගික අශාවන්ට අන්දපු ඇදුමක් කියලයි. ඒක ටිකක් අශෝභනයි කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. නමුත් අපේ හිතේ ඇතිවෙන හැම හැඟීමක් වගේම ආදරය කියන්නෙත් බොරුවක්.....


ප.ලි.
අවසාන පේළිය පොඩ්ඩක් දරුණු වැඩියි වගේ. නමුත් මම උනත් බැඳීම් වලින් හිර උන. හැඟීම් වලට වහල් උන කෙනෙක් විදිහට ඒකට අකමැති උනත් ඒක ඇත්තක් කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක්. ඒක කෙනෙක්ට කියන්න තරම් හැකියාවක් මිථ්‍යාදෘෂ්ඨිකයා හැටියට මට තිබුනත්, මගේ සැබෑ ජීවිතයෙදි අර උඩින් කියපු හේතු වලින් වැහිලා හොඳ පුතෙක්, හොඳ ළමයෙක්, හොඳ මිනිහෙක් හැටියට ජීවත් වෙන්න තරම් මම දුර්වලයෙක්...

2011/01/06

අපි අපි වගේ..

මම මේ දවස් වල පෝස්ට් දාන්නේ ආදරය ගැනමයි නේද? මම සමාව ඉල්ලනවා ඒ ගැන, නමුත් මගේ ඔලුවේ වැඩිපුර වැඩ කරන දෙයක් ගැන කියන එක වඩා හොද කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා ඔන්න ටික දවසකට පස්සේ මගෙන් අලුත් පෝස්ට් එකක්.


අද මෙන්න මේ වගේ දෙයක් උනා මට, මම අද මගේ ගෑණුළමයට ගත්තා දුරකතන ඇමතුමක්. ඉතින් ඔය කතාව කෙරීගෙන ගියා බොහොම ලස්සනට සුමුදුවට මෘදුවට කෙරීගෙන ගියා. ඔන්න එයා කලින් දවසක් ඇදලා ගත්තා. වලියකට මුල පිරෙන්න යන බව මට තේරුනා. ඔන්න එතකොට එයා දැම්මා මෙහෙම දෙබසක් මැදට
"අයියෝ අයියා ඔය තරම් emotional වෙන්න එපා" 
ඕක කිව්වේ මම කලින් දවසක එයාගේ නම්බර් බිසී උන වෙලාවක මම ඒකට කියපු ඇනුම් පදයක් හින්දා. ඇත්තටම් කිව්වොත් මම එදා එහෙම කිව්වේ නිකම් මම එයා ගැන අවදියෙන් ඉන්න බව පෙන්නන්නත් එක්ක. ඇත්තටම කිව්වොත් ඒක කිව්වට විනාඩි 2කට පස්සේ ඒ ගැන ඇහුවත් මතක නැති වෙන තරම් නොවැදගත් දෙයක් මටනම් ඒක.   
ආ.. ඉතින් ඔය දෙබස එයා දැම්ම වෙලාවෙනම් මට පොඩ්ඩක් හිනා ගියා, මොකද මම ගැන දන්නේ මමනේ. කොහොම උනත් මම තීරණය කලා මම මේ තරම් කාලයක් රඟපාපු චරිතය ඒ වෙලාවෙම ඉවර කරලා දාන්න, මම ඒක කල්පනා කරලා ගත්ත තීරණයක්. 
මම ඉතින් බොළඳයිනේ මම තීරණය කලා එයාට පොඩි පාඩමක් උගන්නන්න. ඔන්න එහෙනම් අහගන්නකෝ. 
සාමාන්‍යයෙන් ආදරේදි කොල්ලෝ සහ කෙල්ලෝ යන දෙවර්ගයම ටිකක් බොලඳයි. නමුත් ඔතනදී අනිත් කෙනාව යට කරන්න කැමති කෙනා දාන පල්ම ටෝක් එක තමයි ඔය තරම් බොලඳ වෙන්න එපා කියන එක. (මටනම් ඒක කිව්වේ උඩ තිබුන විදිහට) එතකොට අනිත් කෙනාට පොඩ්ඩක් ලැජ්ජා හිතෙනවානේ, ඉතින් එයාගේ හිතේ නිරුත්සාහයෙන්ම අදහසක් ඇතිවෙනවා මම වගේ නෙමෙයි එයාට හොදට මොලේ තියෙනවා කියන එක.ඒ වගේම ඔතනදී කෙනෙකුට හිතෙන්න පුලුවන් අපරාදේ මම බොලඳ උනේ කියලා
 නමුත් එහෙම කෙනෙක් යම් හැඟීමකට ගරහනවනම් එයාට කියලා දෙන්නම වෙනවා ඇයි මම එහෙම උනේ කියන එක.
ඉතින් මමත් ඒක කියලා දුන්නා මේ විදිහට


සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හැඟීම් දැනෙන්නේ කායික අවශ්‍යතාවයන් එක්ක, එතකොට මිනිස්සු එක එක පිස්සු වැඩ කරනවා. (මමනම් ඒ කිසිම වැඩක් පිස්සු කියලා හිතන්නේ නෑ). ඔන්න ඔතනදී තමයි මිනිහෙක් බොලඳ වෙනවා කියන කතාව ඇත්ත වෙන්නේ. නමුත් ඇත්තටම එහෙම වෙන එක වැරදිද? එහෙම කිසිම හැඟීමක් සඟවන්න ඕනි නෑ. බොලඳ වෙන්න එපා නම් ඇයි අනිත් හැඟීම් වලටත් ඉඩ දෙන්නේ? ඒවත් නවත්වන්න පුලුවන් නේ. 
නමුත් ඒවාට තමයි ජීවිතය කියන්නේ.. හැඟීම් මතින් ගොඩනඟන හීනයක් තමයි අපේ මේ ජීවිතය. නැත්නම් ඉතින් ඕක දිහා විද්‍යානුකූලව බලලා මේ හැම දෙයක්ම අස්තීරයි කියන කෙනෙක් එක්ක ජීවිතයම ගෙවන්න ඔය පන්ඩිතයෝ කාටවත්ම පුලුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න එහෙම හිතනවානම් ඒක තමයි තියෙන ලොකුම නොදැනුවත්කම. මිනිස්සුනේ අපි තවම. යශෝදරා දේවිය සිදුහත් කුමාරයාටත් කියන්න ඇති ආදරේ කරනකොට ඔහොම, නමුත් සිදුහත් කුමාරයා බුදු උනහම මොකද උනේ??  


මමනම් තවම හරියටම සංසාර ගමනක් ගැන තවම දන්නේ නෑ, නමුත් අපි වැඩිය හිතන්නේ නැති උනාට අපි වගේ හැම මිනිහම ඔය හැඟීම් රසවිදිනවා. අවබෝදයක් ඇතිව හෝ නැතිව, නමුත් ඒක ගැන අවබෝඳයක් තියෙන කෙනාට වඩා නැති කෙනාට දැනෙන රසය වැඩියි.ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ? ඉතින් කල්පනා කරලා බලපුවහම මට හිතුනේ එයා කියපු කතාවත් ඇත්ත එයාගේ මට්ටමට සාපේක්ෂව. අන්තිමේට මටම තේරුනා මම කියන්න ආපු දේ එතනමයි කියලා. එතකොට තමයි මට මේ සින්දුව මතක් උනේ.
මම ඔබ නොවන තුරු.. ඔබ මා නොවන තුරු..
ඔබ ඔබමදැයි,, මම මමම දැයි,,
සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ.....
..අපි අපි වගේ..


-------------------------------   ප.ලි.
මට අන්තිමේට හිතුනා මට ඒ කතාව පටන් ගත්තේ නැතිව ඉන්න තිබුනේ කියලා, නමුත් මට බොලඳයි කියපු එයාම මට බොලඳ කතා කියන්න පටන් ගත්තේ ඔය රවුම කැරකුනාට පස්සේ. ඒ කියන්නේ එයා ඉස්සරට වඩා මට ආදරෙයි ලු, තව ජාති ගොඩාක් කිව්වා. එයාට මම කියපු දේ තේරුණාද කියන එක නම් මට තවම ප්‍රශ්නයක්. අවසානයේ මම අද උදේ හිටපු විදිහටම අද දවස අවසන් කරනවා. නමුත් අද එයා කොහොම උනත් මම දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි මොනම වෙලාවක උනත් කෙනෙක් කරන දෙයකට ඔහුට සාපේක්ෂව සාඳාරණ හේතුවක් තියෙනවා, ඒක බුදු හාමුදුරුවොන්ගේ ඉදලා දේවදත්ත දක්වා පොදු කාරණයක්.

2011/01/02

ටෙස්ටෙස්ටරෝන්,ඊස්ට්‍රජන් සහ ආදරය...???

ඇත්තටම මේ ලිපියේ පදනම මම ම තමයි. මම කිව්වේ මගේ ආදර කතාව, 
පොඩි වලියකට පස්සේ තමයි මට මේහෙම හිතුනේ.. ඔන්න ඉතින් දිග නිවාඩුවක් අරගෙන පෝස්ට් එකක් දාන්නයි යන්නේ.... ඔන්න එහෙනම් කියවන්නකෝ මට හිතුන දේ.


මම ගැන කියලා ඉන්න ඕනි ඉස්සෙල්ලාම..
   ඇත්තටම කිව්වොත් මම කියන්නේ මේ ලෝකේ කිසිම කෙල්ලෙක් තමන්ගේ පෙම්වතා කරගන්න කැමති වෙන්නේ නැති විදිහේ චරිතයක්. නමුත් අවාසනාවට එක කෙල්ලෙක් මට කැමති වෙලා. ඒක ඇත්තටමද බොරුවටද කියලා මම තවම දන්නේ නෑ. ගොඩාක් වෙලාවට මට දැනගන්න ඕනිත් නෑ. මොකද මට පුලුවන් රැවටෙන එකත් කලාවක් කරගන්න. නමුත් හිටපු ගමන්ම මම මාර අවංක වෙන්න යනවා.
ඉතින් එතකොට තමයි වැඩේ කෙළවෙන්නේ. මම බොරුවෙන් ජීවත් වෙනකම් හැමෝම මට කැමතියි, ඒ උනාට මම අවංක උනාම කිසිම කෙනෙක් මට කැමති නෑ. තවත් එකක්, මම දෙයක් වැරදුනාට පස්සේ තමයි තර්කානුකූලව ඒ දේ ගැන හිතන්නේ. ඉතින් මම හැම දේ ගැනම තර්කානුකූලව හිතනවා, කියපු එක තේරුනානේ? ඒ කියන්නේ මට හැම දේම වරදිනවා.


ඉතින් ඔයාලට හිතෙන්න පුලුවන් මේ මම මොනාද ලියන්නේ කියලා, එහෙනම් අපි අපේ කතාවට එන්ටර් වෙමුකෝ. මම ටිකක් දරුණු කතාවක් එයාට කිව්වා සිකුරාදා, ඒකේ ප්‍රතිඵලය උනේ එදායින් පස්සේ අපි දෙන්නගේ කෙටි පනිවිඩ ක්‍රියාවලියට කොමාවක් වැටුන එක. මම දැන් මේ කියන්න යන්නේ සමස්ථ වශයෙන්ම ගත්තොත් ඒ විරාමය තුල මගේ හිත දුවපු ඉසව් ගැන කිව්වොත් හරිමත් නෑ. නමුත් 75% විතර හරි. 
 ඉහත සදහන් අවස්තාවත් මට වැරදුන තැනක්නේ, ඉතින් මම කල්පනා කලා කොහොමද අපේ සම්බන්දය වෙලාවකට ලෝදිය වගේ උණුවටත්, තවත් වෙලාවකට අයිස් වගේ සීතලටත් පත් වෙන්නේ කොහොමද? මගේ වචන වලින් කියලා. ඔන්න එතකොට තමයි මට ඇහුනේ අපේ මාමා කියනවා 
 "බල්ලට අර ඔපරේෂන් එකවත් කරානම් හරි, නැත්නම් මේකා ගෙදර තියාගන්න හම්බවෙන්නේ නෑ කියලා"
යකෝ මොකක්ද ඒ වැඩේ තේරුම, මට හිතුනා මාමටත් ඒ ඔපරේෂන් එක කරලා බලන්න. ඒත් තේරුමක් නෑ පොර දැනටමත් කරගෙන ඉන්නේ  කියලා මට හිතුනා. අයියෝ ආයෙත් ට්‍රැක් පැන්නනේ.
ඔන්න එතකොට තමයි මට හිතුනේ අපිටත් එහෙමම කරානම් මේ ප්‍රශ්න වලින් භාගයක් විසදෙනවා කියලා. මොකද ඔය හෝමෝන දෙක හින්ද අපි මොන තරම් කට්ටක් කනවද? බල්ලටනම් ටික කාලයයි ඒ උනාට අපිට එහෙමද?? ඉතින් මට තවත් ප්‍රශ්නයක් මොකක්ද දන්නවද? ඇත්තටම මේ වගේ අපේ හැඟීම් නැති කලොත් අපිටත් අපි ඉගෙන ගෙන තියන නිර්වාණය කියන එක ලඟාකරගන්න පුලුවන්ද? මම ඕක ගැනත් කල්පනා කලා, ඔන්න මිනිත්තුවෙන් ආවා උත්තරේ මොකක්ද දන්නවද කොහෙත්ම බෑ... කියන එක තමයි උත්තරේ
ඒකට හේතු දක්වන්නම් වෙන පෝස්ට් එකකින්,මොකද මම දැන් කියන්නේවෙන මාතෘකාවක් ගැනනේ..
 ඇත්තටම මට මේක තවම ප්‍රශ්නයක් ඔය හෝමෝන දෙක නැති උනොත් ඇත්තටම අපිට කෙනෙක්ට ආදරය කරන්න හිතෙන්නෙම නැති වෙයිද?? ප්‍රායෝගිකව කරලා බලන්නයැ මොකද උත්තරේ ඕනි උනාට. ඉතින් මම මේ ගැන ටිකක් දන්න කියන කෙනෙක් එක්ක කතා කරලා පෝස්ට් එකක් දාන එක හොදයි කියලා මට හිතෙනවා. කොහොම උනත් මට දැනට තේරුම් ගියපු දේ තමයි ඔය හෝමෝන දෙක මුහුදක්නම්, ආදරය කියන්නේ ඔය මුහුදෙන් වතුර අරන් ලේවායක හදන ලුනු දාලා ගෙදරක හදන කරියක් වගේ කියන එක. මට හොදටම තේරුම් ගන්න පුලුවන් දැනට එච්චරයි.


ප.ලි.
 මේ පෝස්ට් එක දැම්මේ ලිව්ව හින්දා, මට මේක අසම්පූර්ණයි වගේ දැනුනට ඒක සම්පූරණ කරන්න තේරෙන්නේ නෑ. නමුත් මේකත් අවුලක්ම නෑ කියලා හිතුන හින්දා ඔන්න මම මේක දානවා. කියවලා බලලා ඔයාලට හිතෙන දේ කියන්නකෝ..