2011/04/21

අනේ උඹ මගේම වෙනවා නම්.....

මගේ අදහස් ගැළපෙන්නේ නෑ තමයි, 
ඒත් මම හිතුවා උඹ මට කැමති උනේ මගෙ ගැන දැනගෙන කියලා,
ජීවිතේට කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැති එක ගැන,
ඒ දවස් වල උඹ ආඩම්බරෙන් කතා කරාට,
උඹටත් තේරෙන්ඩ ඇති අන්තිමේට හරි ඒකට හේතුව. කමක් නෑ,
මට උඹව අමතක කරන්ඩනම් බැරිවෙයි,
ඒ උනාට මම චුට්ටක්වත් චුට්ටම චුට්ටක්වත් තරහා නෑ,
තාමත් මට හිතෙනවා උඹ මට ආයෙම හම්බවෙයි කියලා.
උඹට වැරදුන දවසක හරි කමක් නෑ, 
මම හොද පෙම්වතෙක් නෙමෙයි වෙන්ඩැති,
හොඳ ප්‍රේමවන්තයෝ තමන්ට හිමි නොවුනත්,
ආදරවන්තියොන්ට කවදාවත්ම නරකක් වෙන්ඩ එපා කියල කියනවලු නේ.
ඒ උනාට උඹට මොනවා උනත් කමක් නෑ,
අතක් කකුළක් නැතිව උනත්,
ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැතිව උනත්,
කවුරුත්ම උඹට කැමති නැති හින්දා උනත්,
කමක් නෑ..
උඹ මගේම වෙනවා නම්.....

රත්තරං ඔයා වෙන කාත් එක්ක නිදාගත්තත් කමක් නෑ මට විතරක්ම ආදරේ කරනවද?

ආදරය,
අනේ දෙයියනේ අද කොයිතරම් දෙනෙක් රැවටෙන්න මොන තරම් ආශා කරනවද?  ආදරය කියන්නේ මේකය, ආදරය කියන්නේ අරකය, කියලා මොන තරම් කතා කියනවද? ඕක ඔය තරම් සුන්දර දෙයක් නම්, බුදු හාමුදුරුවෝ යශෝදරාව දාලා වෙන දෙයක් හොයාගෙන ගියේ මොකටද? වෙස්සන්තර; දේවිය, දරුවෝ දන් දුන්නේ මොකටද?
දන්නවද? ගොඩාක් අය, ගොඩාක් වෙලාවට ගෑනු අය කැමති නෑ තමන් උගත් සීමාව ඉක්මවා කිසිම දෙයක් හිතන්ඩ. ඒක ස්වභාවය, එහෙම වෙන්නේ ශිෂ්ඨ බව වැඩි හින්දා වෙන්ඩත් පුළුවන්. ශිෂ්ඨ කියන වචනය දැම්මේ අද ශිෂ්ඨබව කියන්නේ තමන් රාමුවකට කොටු කර ගැනීම කියන එක කියලා මම හිතන හින්දයි.


ආදරය,
 ලෝකේ තියන පරම පිවිතුරු සුන්දරම හැඟීම,  ඕක හැදෙන්නේ කොහොමද ඇත්තටම?? ආදරය කැපවීම, ආත්මාර්ථය, විශ්වාසය, ගෞරවයත් එක්ක එකතු උන රාගය චුට්ටම චුට්ටකින් ලු ආදරය හැදෙන්නේ..ඒක හින්දාලු ගොඩාක් අය ලෝකය දකින්නේ. අනේ මන්දා, අර පාරෙ යන බැල්ලි ආදරය දන්නේ නැත්තේ ඌගේ මොළේ පරිණාමය වෙලා නැති හින්දලු, අර සමහර සත්තු උගේම පැටවු ඉපදුන ගමන් කාලා දාන්නේ උන් ආදරය දන්නේ නැති හින්දළු, උන්ගෙත් මොළේ පොඩියිලු නේ.


ආදරය,
මොළේ කියන එක අපිට ලොකුවටම පිහිටලා තියෙන්නේ ඒක හිස් තැනක් නැතිවම පුරවා ගන්ඩලු. ඒ කියන්නේ සමාජ සාරදර්ම, ගුණයහපත්කම, දැනුම, හැමදේම නිවැරදියි කියලා හිතෙන විදිහට තේරුම් ගන්ඩලු නේ. හ්ම්..... ඉපදුණු දවසේ ඉඳන් ළමයෙක් මගෝඩි රැළක් එක්ක හිටියොත් ඌත් මගෝඩියෙක් ලු, ගුණ යහපත් රැළක් එක්ක හිටියොත් හොඳම හොඳ ළමයෙක් වෙනවලු. හ්ම්..... මෙහෙමත් ජාති.
මම මගේ කම්පියුටරේට Windows XP දැම්මම මට ඒකෙන් වැඩ කරන්ඩ පුළුවන්, Linux දැම්මොත් ඒකෙන් වැඩක් කරන්ඩ පුළුවන්. එතකොට මට මොකටද මොළයක්, ඔලුවට ඉපදුනු දවසේ ඉදන් පුරවපු මනස්ගාත වලින් වැඩකරන්ඩ මොළයක් ඕනෑ ද? හොඳ හාඩ් එකක්, ප්‍රොසෙසරයක්, තව උවමනා කෑළි ටික තිබ්බනම් ඇති නේ? අනේ මන්දා මෙතන මොකක් හරි කොස්සක්....


ආදරය, 
මම ආදරය කරන කෙනා කාත් එක්ක හිටියත් ප්‍රශ්නයක් නෑ, මොනවා කරත් ප්‍රශ්නයක් නෑ. එයා කාට ආදරේ උනත් ප්‍රශ්නයක් නෑ. එයා මට ආදරේ නම් හොදටම ඇති. අනේ ඇත්තට මොන තරම් ශ්‍රේෂ්ඨ ද? හ්ම් ඇත්ත තමයි ආදරේ රාගය ගෑවිලාවත් නෑනේ. මේක මට තේරුනේ නෑනේ මේ තරම් කාළයකට. අනේ ඇත්තට මගේ අම්මා තාත්තා ඔය භාවනාව කරලනේ මාව ඉපදිලා තියෙන්නේ.


ආදරය,
පාරේ ඉන්න බැල්ලි පැටවු දාලා, කිට්ටුවට එන්ඩ දෙන්නෙත් නෑ, අපි පැටවුන්ට හිරිහැර කරයි කියලා. මොන තරම් ආදරයක්ද? අම්මලා ළමයි ගඟට විසිකරන ලෝකෙක, ඒ බැල්ලි මොන තරම් ආදර්ශමත් ද? අවුරුදු දෙක තුනකට පස්සේ ඒ ළමයි මොන තරම් ආදරයෙන් තමන්ගේ අම්මව සහකාරිය කරගන්නවද? හ්ම් උන්ට මොලේ නෑනේ ඒ හින්දා වෙන්ඩ් ඇති ඒ.. බල්ලොනේ, අනේ මන්දා බල්ලොන්ට නැති මොලේ අපිට දීල තියෙන්නේ ඔය හැඟීම් හැම එකම නිවැරදි විදිහට විදින්ඩලුනේ. හොදා හොදා ආදරය, විරහව, සතුට විඳගෙන ඉමුකෝ මෙහෙම හැමදාම. 
අනේ ඇත්තට මම වගේම කවුරුත් කැමති නෑනේ මේ සැපපහසු ආහ්ලාදජනක සිතුවිළි වලින් එහා දේවල් තියෙනවා කියලා හිතන්ඩවත්. අනේ පුළුවන් කෙනෙක් ඉන්නවානම් එතනින් එහාට හිතන්ඩ මටත් පාර කියලා දෙනවද? සමහර විට ඒක කවියක පදයක්, 2ක්, නැත්නම් කවියම, නැත්නම් කවි පොතක්ම උනත් කමක් නෑ. 
තව එකක් මේ ලෝකේ කිසිම දෙයක් වැරදි නෑ සර්ව සාදාරණයි. ඇබෝෂන්, පාරේ ළමයි දාල යන දේවල් විතරක් දකින්නේ අර පැටවු ටික කාලා දාන උන් සත්තු හින්දද? පාරෙ හෙළුවෙන් යන මනුස්සයෙක් දැක්කොත් හිනාවෙන්ඩත්, මස් කඩේකට ගිහින් අමුවෙන් මස් කෑවොත් හූ කියන්ඩත්, පුරුදු උන මිනිස්සු ආදරය කියන එක ලිංගිකත්වය වහන්ඩ අන්ඳවපු ඇඳුමක් කියන එකට මොනවා නොකියයිද?
අන්තිමේට ප්‍රශ්නයකුත් තියේ, ඊලඟ බුදුහාමුදුරුවෝ මොන ආගම අදහන කෙනෙක් වෙයිද? උත්තර එපා පොඩ්ඩක් හිතලා බලන්ඩ.

ප.ලි.
මේක විශේෂයෙන්ම ටෙස්ටෙස්ටරෝන් ඊස්ට්‍රජන් සහ ආදරය පෝස්ට් එකට සම්බන්ඳව දාපු පෝස්ට් එකක්.

2011/04/18

මම තාම ආදරෙයි.. උඹටනම් නෙමෙයි උඹේ.....

ගොඩාක් ඉස්සර
 උඹ : අයියේ ඔයා මගෙ පස්සෙන් එන දවස් වල මම ඔයාට හිතලමයි ගනන් ඉස්සුවේ,
         ඔයාට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ නේද?
         අයියේ මම දන්නවා ඔයාට දැන් මාව ඒ තරම් වැදගත් නැතිව ඇති.
         ඒත් කමක් නෑ මම ඔයාට ආදරෙයි


 මම : හ්ම්.. මමත්


ඊට ටිකක් පස්සේ
 උඹ :   අනේ අයියේ වෙනස් වෙන්ඩ නම් එපා,
           මම ඔයාගෙ හැම දේකටම කැමතියි,
           ඔයා තමයි මේ ලෝකේ මට ගැළපෙනම කෙනා,
           ඔයා නැති උනොත් මට මැරෙන්ඩ හිතෙයි.

මම : හ්ම්.....


පහුගිය දවස් වල
   උඹ : අයියේ අපි දෙන්නගේ අදහස් ටිකක් වෙනස් වගේ,
          ඔයාට හිතෙනවද අපි දෙන්නා මැච් වෙනවා කියලා,
          බලමුකෝ තව ටිකක්,


මම : හ්ම්....


මේ දවස් වල
උඹ : අයියේ අපි දෙන්නා මේක ටික කාළෙකට නවත්තමු
        මට විභාගේ ඉවර උනාම ඔයාට ඕනිම නම් ආයේ පටන් ගමු


මම : හ්ම්....


ඊයේ පෙරේදා
 උඹ : අයියේ ඔයාට ඕනි නම් වෙන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්ඩ
         අපි දෙන්නා කැමති උනාට අපේ ගෙවල් වලින් ඔයාට කැමති නැති වෙයි.


මම : හ්ම්...


අද
 මම : ෆෝන් නම්බරෙත් එක්ක උඹේ ආදරෙත් වෙනස් උනාට මගේ ආදරේ ෆෝන් නම්බරෙත් එක්ක එහෙම්මමයි, උඹේ පරණ සිම් එක දාලා බලලා ඇති වෙනකම් හිනා වෙයං, මොකද මම දැන් ආදරේ උඹේ පරණ නොම්බරේට විතරමයි, උඹට නෙමෙයි..

2011/04/05

මනුස්සකම, යුතුකම, ආදරය ඉක්මවා ගිය අපේකමේ සිහිනය

ඊයේ දවස නිමා උනේ ගොඩාක් දේවල් හිතන්ඩ ඉඩක් ඉතිරි කරමින්. සයිබරයේ හැමෝම එකතු වෙලා කරපු බක්මහ උළෙල තමයි ප්‍රදානම දේ.
   අපි මොන තරම් දේවල් වලට සාදාරණ විසඳුම් හොයනවද? ඒත් ඊයේ අවුරුදු උත්සවේ තිබ්බ හේතුවට තර්කාණුකූල පදනම මොකක්ද? කෙනෙක්ගේ කන් දෙක සුවපත් කරා කියලා අපිට ලැබෙන දේ මොකක්ද? ඒ උනත් ඊයේ අපි හැමෝම මොන තරම් සතුටු උනාද?
                                 ගොඩාක් අය වගේම මමත් දැනුමින් ප්‍රස්න වලට පිළිතුරු හොයන්ඩ ගිහින් අතරමං වෙනවා, අපි ආගමට අනුව බැලුවොත් ඊයේ කරපු දේ පිනක්. ඒ උනාට එතන හිටියා කාටවත් ඒ පිනෙන් වැඩක් තියනවද? කාගෙ හරි හිතේ තිබ්බද මම මේ කරන්නේ පිංකමක් කියලා.
තර්කානුකූලව බැලුවොත් අපි කරන මේ දෙයින් අපිට ආපහු යමක් හම්බ වෙයි කියලා කවුරුත් හිතුවද? එහෙම කාට හරි ඕනි උනාද?
  මම දන්නවා කාටවත් ඒ පිනවත් ආයේ ලැබෙන දේවත් වැඩක් නෑ කියලා. පිරිලා ඉතිරිලා යන මනුස්සකම ඉස්සරහා ඔය කිසිම දෙයක් ලබු ඇටයක් තරම් වත් වටින්නේ නැති බව මට තේරුනා.


                                  මම කියන්නේ අපි කියන එකේ තැනුම් ඒකකය කියලා මම විශ්වාස කරා, ඒක එහෙමමද කියලා මට ඊයේ හිතුනා. අපි නැති දවසක මම ට මොකද වෙන්නේ කියලා මට කල්පනා කරන්න හිතුනා.
සමහර දේවල් තියෙනවා වචනයෙන් එහාට ගිය. හදවත පුරාම තියන ආදරය කාටද වචනයෙන් කියන්ඩ පුලුවන්. අපේ අම්මලා තාත්තලා සමාජය ආදරය ගැන අපේ ඔළුවට දාලා තියෙන්නේ මොන තරම් පටු අදහසක් ද කියලා මට හිතුනා. කොල්ලෙක් කෙල්ලෙක්ට කරන ආදරය, දෙමව්පියෝ දරුවන්ට කරන ආදරය, සහෝදරිය සහෝදරයාට කරන ආදරය, ඔය වගේ දේවල් විතරක් දැනගෙන හිටපු මම ඊයේ  ආදරය කියන්නේ අපි දැනං උන්නු සීමාවට එහා ගිය නෙමෙයි, අසීමාන්තික දෙයක් බව ඉගෙන ගත්තා.සමාජය කියලා දුන්න ආදරය ගැන කිව්වොත් ඒක නිකම් මුහුදෙන් වතුර මිටක් අරන් මුලු මුහුදෙම හැටි කියනවා වගේ හිතෙන්ඩ උනත් වැඩි වෙලාවක් ගියේ නෑ.
                           ඉලංදාරියා ගැන් පුංචි ඉරිසියාවකුත් මගේ හිතේ ඇති උනා, මම, අපි, විතරක් නෙමෙයි මගේ අම්මලා තාත්තලා, අපේ අම්මලා තාත්තලා මොන තරම් ආදරෙයිද ඉලංදාරියාට? ඊයේ ගෙදර ආපු ගමන් අම්මා ඇහුවේ අර ළමයගේ වැඩේ මොකද කියලයි. කී දෙනෙක් නම් ප්‍රාර්ථනා කරනවා ඇත්ද ඉලංදාරියාට සුවපත් වෙන්ඩ කියලා.
                  ඉතිං ඉලංදාරියෝ උඹට අපි කියන දේවල් ඇහෙන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට උඹේ අතේ තියෙන පුංචි පොත ලබු ගෙඩියේ ඇට ගාන ලියන්ඩ හරි පෙට්ටියේ රහස ලියන්ඩ හරි ගන්ඩ පුලුවන් වෙයි...
 








ඊයේ මට ගියපු ගමන් උවමනා උනේ ඉලංදාරියාව බලා ගන්න, ඒක නම් එතනට ගියපු හැටියෙම කරගත්තා. මොකද ෆොටෝ ඕනි තරම් දැකලා තිබ්බනේ. ටිකට් ගන්ඩ ගියාම එතන පැත්තකින් උන්නු ඇස් දෙක පොඩි කරගත්ත හාදයාගේ පෙනුම දැක්කම ලඟින් ආපු පුසුඹත් එක්ක මේ නම් අනිවා ටක්කෙටම මගේ ලෝකය ලියන රංග වෙන්ඩ ඇති කියලා හිතුනා. ටිකට් එක දුන්න හාදයත් ටිකක් දැකලා පුරුදූ උනත් ඒ හැටි නිච්චියක් නෑ. ගිහින් පුටුවකින් වාඩි උනාම වෙලාවට බුකියේ මගෙ යාළුවෙක් හම්බ උනා,කොහොම උනත් අනිත් අය සතුටු වෙන එක බලන් ඉඳලා සතුටු වෙන්න කැමති හින්දම එහාට මෙහාට ඇවිදලාබැලුවා මිසක තරඟවලටනම් ඉඳිරිපත් උනේ නෑ.
                         අභී, දුකා, ඔබ්සර්වර් අයියාව එහෙමත් පළවෙනි පාරට දැකගත්තේ එදා තමයි. තව ගොඩාක් අයව මම අඳුනගත්තා, ඒ අයවනම් මාව අදුරගත්තඳ දන්නේ නෑ. කොහොම උනත් මට ෆන් පාට් එක ගැන ලියන්ඩ දෙයක් ඉතිරි වෙලා නෑ.  හැමෝම ඒක ගැන ලියලා තියනවානේ. ඔන්න එහෙනම් මිථ්‍යාදෘෂ්ඨිකයාත් බ්ලොග් අවකාශෙට සජීවීව එකතු උනා.....

ප.ලි.
        පොඩි දුකකුත් තියනවා, මම කැමතිම බ්ලොග් ලියන අයගෙන් පිනිබිඳු, නවම්මාවත, දෙන්නාම ඇවිත් හිටියත් අඳුන ගන්ඩ බැරිඋන එක. කමක් නෑ. අභී අයියාගේ එක හීනෙන් රෑ එලිවෙන්නේ නැතිවෙයිනේ, ඊලඟ හීනෙදිවත් බලාගන්නම්කෝ.