2011/01/26

දුලා.....


අද මම දාන්න යන්නේ දුලා ලා දෙන්නෙක් ගැන කතාවක්. කොහොම උනත් මම දැන් දන්නවා දුලා කියන නම මුලට එනවනම් ආයේ ඒ කෙල්ල දිහා හැරිලවත් බලන්න නම් හොද නැති බව.

දුලාරී.....
      මේක උනේ මම සාමාන්‍යය පෙළ කරන කාලේ. මම ඉතින් ඔය කාලේ හොස්ටල් එකේ තමයි හිටියේ. ඉතින් මම පංතියකට කියලා ගියේ ඉංග්‍රීසි වලට විතරයි. කොහොම උනත් අපේ යාලුවෙක් ගේ අදහසකට එකඟ වෙලා අපි සෙට් එකම තීරණය කලා විද්‍යාව සම්මන්ත්‍රණයකට යන්න. කොහොම හරි මගේ ජීවිතේ පළවෙනි පාරට හෝල් ක්ලාස් එකක අත්දැකීම ගත්තේ එතනින්.   
සම්මන්ත්‍රණයේ පළමු දවස
  ඔතන මම සහ හොස්ටල් ඉන්න සෙට් එකට ඇරුනම අනිත් හැම එකාම කෙල්ලෝ හොදට අදුරනවා. ඉතින් මම වැඩිය සද්ද බද්ද නැති පොරනේ. ඉතින් මම හොස්ටල් හිටපු අනිත් උන් ඒ චාන්ස් එකෙන් උපරිමේට ප්‍රයෝජන ගන්න කොට අපරාදේ රුපියල් 500 කියලයි මම කල්පනා කලේ. මොකද සම්මන්ත්‍රණයට 500ක් දීලා තමයි සහභාගී උනේ. ඉතින් මම පැත්තකට වෙලා ඉන්නකොට මට නිකම් දැනෙනවා කෙල්ලෝ සෙට් එකක් මගේ පැත්ත බලාගෙන මොනවද කියවනවා. ඔය කාලේ ඉතින් දැන් වගේ නෙමෙයි නේ, මම හෙන අහිංසකයා මම ඉතින් දැන් හොදටම රතු වෙලා. මම ඉතින් මගේ හොස්ටල් සගයෙක්ට කිව්වා කේස් එක. පොරත් පොඩ්ඩක් ඒ පැත්ත බලලා ආහ්! අර ඉන්නේ ***** ගේ බඩුවනේ මම අහලා බලන්නම් මොකක්ද කේස් එක කියලා ****** හම්බවෙන්න ගියා. පොර ටිකකින් හිනා වෙවී එනවා. එතනින් දුලාරි කියන ගෑණු ළමයාට මගේ ගැන පිලිබද හිතක් පහල වෙලා වගේ ලු... 
මම ඉතින් ඔය කාලේ මගේ පළවෙනි ප්‍රේමයට හිතින් මුලපුරලා තිබ්බ නිසා ( ඒ උනාට ඒ ගෑණු ළමයා දන්නෙත් නෑ)  මම කලේ ඔය කතාව වැඩිය ගනන් ගත්තේ නෑ. අඩුම ගානේ දුලාරී කියන්නේ කව්ද කියලවත් බැලුවේ නෑ (හැමෝම යනකම් ඉදලා පොඩ්ඩක් බැලුවට අදුරගන්න බැරි උනා ඒ වෙලාවේ) පස්සේ ඔය සම්මන්ත්‍රණය ඉවර වෙලා යනකොට, ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක මාව වට කරගෙන මට කියනවා, උඹ අර යන කෙල්ලට පුලුවන්නම් කතා කරලා කියපන් මේ යාළුවෝ කියන්නේ ඇත්තද කියලා, මට ඒක කරන්න තරම් ආත්ම්විශ්වාසයක් ඒ කාලේ තිබ්බේ නැති උනත් ලඟින් යනකොට අර කියපු වචන ටික අමාරුවෙන් කිව්වහම තේරුණේ ඒක මාර effective වචන සෙට් එකක් කියලා. මොකද ඒ කෙල්ල තමයි මම නොදැකපු මාව දැකපු දුලාරී. කෙල්ල රතු උනා ඇස් වලට කදුළු පිරිලා වගේ දැක්කා ඒ එක්කම ඒකි දුවලා ගේට්ටුවෙන් එලියට ගියා. ඔන්න ඕකයි අපේ පළමු හමු වීම.
සම්මන්ත්‍රණයේ දෙවන දවස
    දෙවෙනි දවස පටන් ගත්තේ මහා අමුතුම විදිහට, උදෙන්ම මම ජීවිතේට දැකලා නැති කෙල්ලො සෙට් එකක් ඇවිත් ගුඩ්මෝර්නින්ග් කිව්වා, සෙමිනා එක පටන් ගත්තට පස්සේ උන් සෙට් එකම මට හිනා වෙනවා. අස්සෙන් පේනවා අර කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි. මම ඉතින් ඔය වගේ වෙලාවට ඒ දවස් වල ඕනි කෙනෙක්ට දෙන උපදෙස තමයි පැනලා දුවන්න කියන එක. මමත් ඉතින් පැනලා දුවන්න චාන්ස් එකක් ලැබෙනකම් හිටියේ. 
ඔන්න එතකොට තමයි ඉන්ටර්වල් දුන්නේ. හොස්ටල් උන් සෙට් එකට පළවෙනි දවසේ තිබ්බ කික් එක නෑනේ. ඉතින් හොස්ටල් එකෙන් එලියට පැනගත්තු වෙලාවේ මොකක් හරි පිස්සුවක් නටන්න යන්න ඕනි උනා. මටත් ඉතින් නියම චාන්ස් එක. අපි සෙට් එකම පොඩි වලක් බැස්සා. ගියාට පස්සෙනම් මට දෙපාරක් විතර හිතුනා අපරාදේ මට ඉන්න තිබ්බේ කියලත්. 

දෙවෙනි දවස ඉවර වෙලා ආපහු හොස්ටල් එකට ආවට පස්සේ තමයි මම නැති අතරේ සෙමිනා එකේ වෙලා තිබ්බ දේවල් දැනගත්තේ. මගේ හොදම යාලුවෙක් අපේ වලට සෙට් උනේ නෑ. පොර මගේ පාට් එක හොදට කරලා. මම දුලාරිට කැමතියි සහ තව නොයෙක් කතා ගොඩක් කියලා. 

සම්මන්ත්‍රණයේ තෙවන දවස
   එදා උන දේවල් මමත් හරියටම දන්නේ නෑ මොකද මට සහ අනිත් උන්ට එපා වෙලා තිබ්බේ ඔය සෙමිනා කෙරුවාව. ඉතින් මම ටිකක් දවල් වෙනකම් නිදාගත්තා. ඔය අතරේ ඒකට ගියපු මගේ යාළුවෝ මම ගැන බොරු ආරංචියක් පතුරවලා, මම බස් එකට නගිනකොට වැටිලා කකුල මොකක්ද වෙලා කියලා. ඉතින් ඕක අහලා දුලාරී ඇඩුවලු. එයාගේ ඉස්කෝලේ යාළුවෝ ටික මාව බලන්න හොස්පිටල් යන්නත් සෙට් වෙලා. කොහොම හරි මගේ ප්‍රේමණීය මාරයෝ ටික ඒක ශේප් කරලා. 
ඔය කතාව ඇහුවට පස්සේ තමයි මට දෙලෝ රත් උනේ. යකෝ මේ කෙල්ල ඇඩුවා? මම හින්දා?? මල කෙලියයි. මේක හරියන වැඩක් නෙමෙයි. මම මගේ චරිතේ කරපු මාර යාළුවාටම කියලා මටම මඩ ගස්සාගන්න තීරණය කලේ ඊට පස්සේ. කොහොම උනත් ඌ ඒ වැඩේ නම් මබ කිව්වටත් වඩා හොදට කරලා තිබ්බා.
මම පෙනුමට අහිංසකයා වගේ හිටියට කෙල්ලෝ ගොඩාක් චාටර් කරපු පොරක් කියලත් මේකා කියලා. අර කතාවක් තියනව නේ ඉබ්බා දියට දැම්මම දැං නෑවේ කියලා ඒ වගේ තමයි. කොහොම හරි දැන් මම චාටර් පොරක්. ඒත් කමක් නෑ දැන් ඒ කරදරේ ඉවරයිනේ කියලා හිතාගෙන හිටියා. 

අවුරුද්දකට පස්සේ මගේ යාළුවෝ කාටවත් අර ගෑනු ළමයාගේ ඉස්කෝලේ ගාවින් යන්නවත් බැරි තත්වයක් ඇති වෙලා තිබ්බේ. ඒ තියා මම යාළුවෙක් කියලා දැනගෙන ඒ ඉස්කෝලේ කෙල්ලෝ අපේ කොල්ලොන්ව අත ඇරපු අවස්ථා කීපයකුත් තිබ්බා. කොහොම උනත් කවුරුත්ම දන්නේ නැති මම හෙන ජන[අ]ප්‍රිය ප්‍රසිද්ඳ පුද්ගලයෙක් බවට පත් උනා. ඔය සිදුවීමෙන් පස්සේ.
ඔය අහිංසක දුලාරී මට ගැලපෙන්නේ නෑ කියලා හිතුවත් මට දුලාජී හම්බ උනාට පස්සේ හිතුනා දුලාරී මොන තරම් හොදද කියලා. ඒ කතාව මම ඊළග පෝස්ට් එකට දාන්නම්කෝ.

ප.ලි.
  කොහොම උනත් වයසත් එකක සමාජය හැසිරෙන විදිහ මට තේරුම් යනකොට. මම ඒ තේරුම් ගැනීම් අනුව මගේ අත්දැකීම් වෙනස් කරගෙන තියනවා කියලා මට තේරුණා. උන දෙයක් වෙනස් කරන්න බෑ කියලා කිව්වට අපි හැමෝම අපිට ඕනි විදිහට පොඩි පොඩි වෙනස්කම් අපේ අත්දැකීම් වලට කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. 

4 comments:

  1. අපරාදේ සහෝදරයා ...ඔයාට තව කිහිප සැරයක් හිතලා බලන්න තිබුනා

    ඉතින් දැන් දුලා .. කොහේ ඉන්නවද කියලා ඔයා දන්නවද ? දැන්නම් කොල්ලෙක් ඇති නේද ?

    ඊලඟ පෝස්ට් එකත් ඉක්මනට ලියන්න මේක බ්ලොග් සතියනේ ......

    ජය වේවා !!

    ReplyDelete
  2. ඒක ඇත්ත. හුඟක් වෙලාවට අපි කරන්නෙ ගෙවිච්ච අතීතෙ ලබාගන්න බැරි උනු දෙයක් ගැන හිතල දුක් වෙන එක තමා.

    ReplyDelete
  3. ඊලඟ පොස්ට් 1 ඉක්මනට දාන්නකො බලන්න දුලාජී ගැන දැන ගන්න ආසයි

    ReplyDelete
  4. මෙහෙමත් කෙල්ලො
    පවු අර කොල්ලා
    mehema dushtiyo innakam ahinsaka kollo duk windinawa.
    ai kello me tharam chapala.

    ReplyDelete