2010/11/30

පදමට ගැනීම් (සැර බාල කිරීම)

මාගේ පළමු ලිපිය තවම මමම පමණක් කියවා ඇති බව මම දනිමි. එය ඉස්කුරුප්පු නියනක් අතට දී හදට යන්න කීවා වැනි ලිපියක් බව මටද හැගේ. එබැවින්, එය තවත් අයෙකු කියවීමට පෙර එහි සැර බාල කර විවෘත සිතුවිලි පරාසයක් තුල සිටින ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි අයුරින් මම මාගේ දෙවන ලිපිය මෙලෙස සටහන් කරනු කැමැත්තෙමි.
        ....අපේ කිරිඅමාට බුදුදහම ඉගැන්වූවෙමි....
එය එක් පුර පසලොස්වක පෝය දිනයකි. නිවසේ සියළුම දෙනා පන්සල් යන්නට සුදානම් වෙමින් සිටියේය.
අම්මේ මම එන්නේ නෑ.. මම අම්මාට දැනුම් දුන්නෙමි.
 ක්ෂනයකින් කිරි අම්මා ගේමට එන්ටර් විය.
 පව්කාර කමට හැදෙන්න එපා ළමයෝ අර බලපන් උඩහ ගෙදර කොල්ලා ඌ කොච්චර රස්තියාදු ගැහුවත් හවස් වෙනකොට පන්සලේ... උබලගේ දැන් ආගමට දහමට කිසිම ගරු සරුවක් නෑ.
මමත් මාගේ ස්වයං මතය මදක් එලියට දැමීමට කල්පනා කලෙමි.
කිරි අම්මේ ආගමක් තියෙන්නේ ගරු කරන්න නෙමෙයි අනුගමනය කරන්න., ඒකට පන්සල් යන්න ඕනි නෑ ගෙදර හිටියත් ආගම අනුගමනය කරන්න පුලුවන්..
අනේ උබේ ආගම, ඈ බොල පන්සල් යන්නේ නැතිව කොහොමද ආගම අනුගමනය කරන්නේ?
මමත් පුලුවන් උපරිමය යොදා පැහැදිලි කලෙමි,,,,,
නැත කිරි අම්මා සැලෙන පාටක් නැත,, උන්දෑ බණ පද පෙල ගස්වමින් මාව පන්සල් එක්කර ගෙන යෑමට උත්සහ ගන්නා බව පෙනේ..
අවසානයේ හෝඩියේ ලමයෙකුට රසායන විද්‍යා පරිවර්තනයක් ඉගැන්වීමට උත්සහ කලාක් මෙන් බහුශැත කිරි අම්මාට ආගම ඉගැන්වීමට ගත් උත්සහය ව්‍යර්ථ විය. මම පන්සල් යෑමට තීරනය කලෙමි...
පන්සල් ගිය විගස කිරි අම්මා බුදුපිලිමයක් ලගින් දනින් වැටී මොනවාද මුමුනනවා ඇසුනු නිසා මමත් හෙමින් සීරුවේ ඒ දෙසට කිට්ටු කලෙමි.
අනේ බුදුහාමුදුරුවනේ අපේ කොලුව නොදන්නා කමට කී ඒවට සමාව දෙනු මැනවි, දැන් ඌ හැදිලා...
කිරිඅම්මා මා වෙනුවෙන් සමාව ඉල්ලයි.. මම මුවින් නොබැන පැත්තකට වී කෙල්ලෙකුට ලයින් පාරක් දාගෙන සිටියෙමි.
ප.ලි.
  මාගේ මිත්තණිය පමණක් නොව අද සමාජයේ බොහෝමයක් දෙනා මෙම මතයේ සිටී, ආගම පිලිපැදීම වෙනුවට ආගම හිසමත තබාගෙන දුක් විදී. ආගම රැක ගැනීමට කියා විවිද පුහු වැඩ කරති. සමහර ටියුශන් මාස්ටර්ලාද තමා සතු විවිද හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ලමුන්ගේ සිතුවිලි වල දුර්වල ස්ථාන බිදිමින් ආගම කෙරේ වැරදි මතයක් ඇති කරයි. එම ළමුන් ගිරවුන් මෙන් ඉගැන්වූ දෙයම කියමින් ඒ නීති රීති අනුගමනය කරමින් දුක් විදිති. බොහෝ දෙනා ඔවුන්ට හරිම හොද ලමයෙක් යැයි සම්මාන දෙති. නමුත් ඔවුන් දන්නා මගුලක් නැත. ඔවුන් කියනා අන්දමට ආගම පිලිපැදිය යුතුනම්... පාවහන් යුවල බුදුපිලිමය ලගින් තබා වැන්දාටද කම් නැත. ආගමට ගරු කිරීම යනු එහි නිවැරදි ස්වරූපය වටහාගෙන අනුගමනය කිරීම මිස උදේ හවස පන්සල් යෑම නොවේ....

මිත්‍යාදෘෂ්ටිකයාගේ ආගමනය

අපි විස්වාස කරන්නා වූ සියලුම දේ අප උපන්දා පටන් අප සමාජය නැමති විශ්වවිද්‍යාලයයෙන් උගත් දේ මතම පදනම් වී ඇත. නමුත් මම විශ්වාස කරන අන්දමට යම් අයෙකුට එම සීමාව අභිබවා යෑමට හැකියාව ඇත්නම් ඔහුට අපි විස්වාස කරන්නා වූ යම් විමුක්තියක් ඇත්නම් එය උදාකරගත හැකිවනු ඇත. වත්මන් සමාජයේ බොහෝමයක් දෙනා මේ පිලිබඳ නොදන්නවා නෙවේ, බොහෝ දෙනාගේ සිත් තුල මෙම අදහස ඇත. නමුත් මමද ඇතුළත් එම පිරිසට පවත්නා රාමුවෙන් බැහැරව යෑමට ආත්ම ශක්තියක් නැත.
                    අප සියලුම දේ දෙස බලන්නේ අපි ඉපදුනදා සිට අපිට ඉගැන්වූ අකාරයෙන්මය     අම්මාට අම්මා කියන්නේත්, තාත්තාට තාත්තා කියන්නේත් එබැවිනි, එතැන් සිට අපි අපගේ ලෝකය මවාගැනීම ආරම්භ කරන්නෙමු. එතැන් සිට පව්-පින්, හොද-නරක, සැප-දුක ආදී අනේක විද වචන රාශියක් තුලම සිට කටයුතු කරන්නෝ වෙමු. එතැන් පටන් බල්ලා නීච ලෙසත්, අම්මා උතුම් ලෙසත් සැලකුවෙමු. අම්මාට බල්ලා යැයි කියන්නා පාහරයෙකු වූයේ ඒ අනුවය. නමුත් අම්මා සහ බල්ලා යන වචන මාරු කොට අපට ඉගැන්වුයේ නම් අපි බල්ලාට අම්මා කියන්නා පාහරයෙකු ලෙස සිතන්නට ඉඩ තිබුනි.
                                           ඒ අනුව අපේ විස්වාසය පදනම් වී ඇත්තේ ඉහත කී අන්දමට මවා ගත් සීමිත වචන සංක්‍යාවක් මතය. එ අනුව බුද්ඩියෙන් යුතුව මෙය කියවා බැලුවේ නම් මම පමණක් නොව ඔබද මිත්‍යාදෘෂ්ටිකයෙකු බව ඔබටද වටහා ගත හැකි වනු ඇත. මාගේ පළමු ලිපිය රසවිදිමින් කියවන්නට හැකියාව ඇතොත් ඒ බොහෝ සුළු පිරිසකට පමනක්ම වනු ඇත  ඒ බව මා දනිමි. මෙය හුදෙක් කියවා තේරුම් නොගෙන මා හට ද්වේෂ සහගතව බැනීමට සිතෙනා පිරිස්ද සිටිනා බව මම දනිමි. එබැවින් ඔවුන්ගේ දැනුම් මට්ටම අනුව සිත් රිදීමක් ඇතිවීමටද ඉඩ ඇතිමුත්, එවන් අය මෙය මෝඩයෙකුගේ මෝඩ ලිපියක් බව සිතා නොසලකා හරින්නේ නම්  එය මැනවි.  

අවසානයට මම බුදුන් වහන්සේ දේශනා කල දෙයක් සදහන් කරනු කැමැත්තමි
නාගයෙකුගේ කඳ මැඳින් හෝ වල්ගයෙන් අල්වා ගත්විට ඌ ආපසු හැරී දශ්ට කරන්නේය.
එමෙන්ම, දර්මය නිසි ලෙස ග්‍රහනය කර නොගන්නා කෙනාද එය නිසාම දුකට පත් වෙන්නේය.