මිත්යාදෘෂ්ථිකයටත් හිතුනා කතාවක් ලියන්න, හැබැයි ඒක ඇත්තද බොරුද කියන එකනම් ඒ තරම් වැදගත් නෑ..
ඔන්න එකෝමත් එක කාලෙක හිටියා පොඩි කොලු ගැටයෙක්. මේ ළමයා නතරවෙලා හිටියේ පාසලේ නේවාසිකාගාරයේ, ඉතින් ඔහොම ඉන්න කොට ටියුෂන් පංතියකට යමු කියලා මේ ළමයගේ යාලුවෙක් යෝජනාවක් ගෙනාවා. ඉතින් ටියුෂන් පංතිය මුවාවෙන් හරි පොඩ්ඩක් එලියට පැනගන්න හිතුන මේ ළමයත් එයාගේ යාලුවොත් අන්තිමේට ඒ පංතියට යන්න තීරණය කලා.
ඔහොම හැම සති අන්තයේම පංති යන මේ ළමයගේ හිත් ගත්තු ගෑනු ළමයෙක් හිටියා ඒ පංතියේම. ඒ උනාට ඒ ගෑනු ළමයාගේ හිතේ වෙන කෙනෙක් ගැන අදහසක් තිබ්බා. ඒ නිසාම එයාට හිතුනේ මේ පස්සෙන් එන කොල්ලානම් හරිම වාතයක් කියලා. ඔය කිසිම දෙයක් නොදන්න අර මෝඩ කොලුවා තවත් ඒ ගෑනු ළමයා ගැනම හිතාගෙන හිටියා. ඉතින් ඔය විදිහට ඒ පංතිය නතර උනා. ඒත් ඔහු අත ඇරියේ නෑ. ඔහු හොදින්ම දැනගෙන හිටියා තමන්ගේ හිතේ නියම ආදරයක් ඇති වෙන්න තවම හරි වයසක් නෑ කියලා. ඒත් විස්තර කරන්න බැරි හැඟීමක් ඔහුගේ හිතේ ඇති වෙමින් තිබුනා.
ඔහොම දින සති මාස ගෙවිලා අවුරුද්දකුත් ගෙවුනා. ඔය කාලයේදී අපේ කතා නායකයා එක එක දේවල් කලා, ඒ මතකයන් අමතක කරන්න. මට කියන්න අමතක උනා ඒ ළමයාගේ ලොකු දුර්වල කමක් තිබුනා ඒ තමයි ගොඩාක් සිහින මවන එක. ඉතින් ඒ සිහින වලින් අර ගෑනු ළමයා එලවන්න මොන දේ කළත් හරි ගියේ නෑ.
ඒ අතරතුර ඒ ගෑනු ළමයා තමන්ගේ හිතේ හිටිය කෙනාට ටික ටික සමීප උනා (මිතුරෙක් විදිහට). ඔය ගැන ආරංචිය අපේ කතානායකයටත් ආවා. ඔහුට ඒ වෙලාවේ ඇතිඋනේ කියන්න බැරි තරම් දුකක්, වේදනාවක්. ඔහු හිතුවේ එතන මිතුරු කමකට එහා ගිය සම්බන්ඳයක් ඇති කියලයි. ඔහු මොන තරම් හැඟීම්බර උනත් නොදන්න කෙනෙක්ට ඒක පෙන්නන්නේ නෑ. ඒ නිසා ඔහු බොහොම පහසුවෙන් ඒක ගානක් වත් නැති ගානට හිටියා. ඒ වගේම එයාට වෙන ගෑණු ලමයෙක් ගෙනාව යෝජනාවකට කැමති උනා. නමුත් මේ මෝඩයා දන්නේ නෑ කොහොමද කෙල්ලෙකුගේ හිත දිනාගෙන ඉන්නේ කියලා. ඔහුට ඒක දැනගන්න ඕනි උනෙත් නෑ. ඔහු බැලුවේ එයාගේ හිතේ හිටිය ගෑනු ළමයට රිදවන්නේ කොහොමද කියලා විතරයි. නමුත් මේ මෝඩයාට තේරුනේ නෑ. ඇයට කොහොමටවත් ඒක දුකක් නොවන විත්තිය.
ඔහු ඇයට පේන්න ඇය ඉස්සරහින් ගියා. ඇය දැක්කම අහක බලාගත්තා, ඔය වගේ මෝඩ වැඩ ගොඩාක් කලා. සරලවම කිව්වොත් හොද නලුවෙක් උනා. ඉතින් මේක දැකපු අර ගෑනු ළමයා එයාගේ යාලුවොන්ට මේ ගැන කියමින් හොදට විනෝද උනා, ඔය කිසිම දෙයක් සිහින ලෝකෙක ජීවත් උන ඔහු දැනගෙන හිටියේ නෑ. ඔහු බලෙන්ම හිතාගත්තා තමන්ට ලැබුණු ආරංචිය බොරු කියලා. නමුත් අර ගෑනු ළමයා ඔහු ගැන ඇයගේ හිතේ හිටිය ළමයටත් කියලා තිබ්බා. ඉතිං පන්තිවලදී සමහර කොල්ලෝ නෝන්ඩියට හිනා වෙනකොට ඔහු හිතුවේ මේ ඇත්තටම හිතවත් කමට හිනාවෙන්නේ කියලා ඔහුත් හිනා උනා.
කොහොම හරි ඔහුට පාසල් දිවිය අවසාන වෙන කාලෙදිවත් ඒ ගැන කිසිම දෙයක් දැනිලා තිබ්බේ නෑ. ඔහු හැමෝටම පණ්ඩිත විදිහට ජීවිතය ගැන කියලා දුන්නා. අනවශ්ය විදිහට බස් වල, පාක් වල හැසිරුන හැටි යාලුවෝ කියද්දි ඔහු ඔවුන්ට කොලොප්පමට හිනා උනා, ජංගම දුරකතන නිතරම කනේ තියාගෙන ඉන්න යාලුවොන්ට බැනවැදුනා. ඔහු හිතුවේ ඔහු මහා වීරයෙක් කියලා.
ඔහොම තවත් වසර දෙකක් විතර ගියාට පස්සේ තමයි ඔහු ඒ වෙනකම් උන සියලුම දේවල් දැන ගත්තේ. ඔහුට ඇතිඋනේ සෙනඟ ගොඩක් මැද්දේ නිරුවත් උන හැඟීමක්. ඔහුට ඇස් වලට කදුළු ආවා. නමුත් ඒ වසර දෙකෙදී ජීවිතය ඔහුට ගොඩාක් දේවල් කියල දීල තිබුනා. ඒ නිසා ඔහු ඔහුම කල දේවල් වලින් හොද පාඩමක් ඉගෙන ගත්තා. හැඟීම් කියන දේ අවස්ථාව අනුව වෙනස් වෙන බව ඉගෙන ගත්තා. තමාට හැඟීම් වලට වහල් වී ගන්න හැම තීරණයක්ම පසුව දුකක් බව ඔහු ඉගෙන ගත්තා.
නමුත් ඔහු දන්නවා ඔහු තාමත් හැඟීම් මඟ ඇර තීරනයන් ගැනීමට තරම් ශක්තිමත් නැති බව. ඒ නිසාම ඔහුට තේරෙනවා තමන් කරන කියන දේවල් නිසා අනාගතයේ නැවතත් දුක් වීමට ඉඩ ඇති බව. ඔහු ඒ බව දැනදැනත් නැවත නැවතත් රසවත් හැඟීමකට වහල් වෙලා. ඔහුට අතීතය කියලා දිලා තිබුනත් 50% ක් නැවත සිනාවට ලක්වීමේ අවදානමක් ඇති බව, ඔහුට ඔහුගේ හැඟීම් වලින් පලායන්න තවම හැකියාවක් නෑ.
ප.ලි.
මම ඔහුට දැඩි ලෙස අවවාද කලත් ඔහු ඒ ගැන තැකීමක් නෑ. කමක් නෑ. ඔහුට යම් දවසක කලින් වගේම උනොත් මම එදාටත් ඔහුට අවවාද කරනවා, එහෙම ඇහුවේ නැත්නම් ඊලඟ පාරත්. මම සහ ඔහු එකට ඉන්නකම් මම ඔහුට ඔය ගැන කියලා දෙනවා.
හැමෝම වගේ බ්ලොග් වල තමන්ගේ ආදරය ගැන ලියනවානේ, ඉතින් මිත්යාදෘෂ්ථිකයාත් කල්පනා කලා තමන්ගේ ආදර කතාවත් මේකේ ලියන්න. හැබැයි ඉතින් මේක රොමෑන්ටික් ආදර කතාවක් නම් නෙමෙයි.
වසර 4කට පෙර,,,
එක සෙනසුරාදා දවසක් ඒක, ටියුෂන් ක්ලාස් එක ඉවර වෙලා ආවා බස් හෝල්ට් එකට. ඒක ටිකක් මම ජීවත් උන නගරයට ටිකක් දුරින් තිබ්බේ, ඒ නිසා ඉතින් මට වැඩිය යාලුවෝ නෑ මගේ අතීසාර පණවගේ මිත්රයා නන්දේ සහ මම බස් හෝල්ට් එකේ හිටියේ. එතකොට තමයි ක්රිම් පාට ත්රී ක්වාටර් එකක් සහ රතු ටී ෂර්ට් එකක් ඇදගත්ත කෙට්ටුම කෙට්ටු ගෑනු ලමයෙක් බස් හෝල්ට් එකට ආවේ. මට දැක්ක ගමන් හිතුනේ මහ ආඩම්බර කෙල්ලෙක් වගේ කියලා. පොඩ්ඩක් හොයලා බලනකොට මම හිතුවා හරියටම හරි. ඒ අපේ ක්ලාස් එකට එන නංගී කෙනෙක්. මීටරයක් නිසා තමයි සර් එයාව අපේ පංතියට දාලා තියෙන්නේ. දවසක් දෙකක් ඔහොම යනකොට මෙන්න එයා යන්නෙත් මම යන බස් එකේමයි. මමත් ඉතින් ටිකක් ඔලුවෙන් හිටියේ ඒ දවස් වල. මොකද මම හිතාගෙන හිටියේ මම ටිකක් හැන්ඩ්සම් පොරක් කියලා, ඕක ඉතින් ඔය කාලෙට කොල්ලොන්ට තියන ලෙඩක්නේ.
ඒ උනාට ඉතින් මම යාලුවොන්ට කිව්වේ..
මම යන බස් එකේ යන හින්දා බං නැත්නම් මම කෙල්ලෙක්ගේ පස්සෙන් යයිද කියලා..
ඒ උනාට ටික දවසකින් මටම තේරුනා මමත් මේ කතාවෙදි අනිත් හැම එකාම වගේ ටිකක් බොලඳ උනා කියලා. මොකද මම හිටියේ හොස්ටල් එකේ ඉතින් ඕකේ එකෙක් දැනගත්තා කියන්නේ වෝල් එකට දැම්මා වගේ නේ. ඉතින් අපේ බුද්ඩිමත් අයියලා කිව්වේ,
මල්ලී ඕක වයසේ හැටි උබට ඔය තියෙන්නේ පොඩි ආකර්ශණයක් විතරයි කියලා.
මමත් ඉතින් කල්පනා කලාම ඒ කතාව ඇත්ත තමයි කියලා මටත් හිතුනා,
ඉතින් ඔහොම ගිහින් 2006 අවුරුද්ද ඉවර උනා. මම මගේ ආදරේ ප්රකාශ කලේ නැත්තේ ඒ කෙල්ල කිව්වනම් අයියේ අපිට එහෙම දෙයක් ගැන හිතන්න තරම් වයසක් නෑ කියලා මට වස ලැජ්ජාවනේ ඒකයි.
ඉතින් මම පස්සෙන් ආවා කියලා එයා දන්නෙත් නැතිවම මගේ ආදර කතාව ඉවර උනා.
වසර 2කට පෙර...
අපි දැන් ලොකු අයියලා, තාම ටියුෂන් ගියාට දැන් ටියුෂන් යන්නේ ලොකු ලොකු විජ්ජා විෂයන් වලට. ඉතින් මගේ රසායන විජ්ජා පංතිය ඉවරවෙලා එලියට එනකොට මෙන්න බොලේ දැකලා පුරුදු මූනක්, මට එක පාරටම හිතාගන්නත් බෑ. ඒ වෙනකොට මම හිතන් හිටියේ මගේ හිතේ ඇති උන බොලඳ ප්රේමය ඉවර වෙලා කියලා, මොකද කෙල්ලොන්ට විහිලු කරල යලුවොත් එක්ක පොඩි ජොලියක් දාගෙන හිටපු කාලෙ ඉවර උනා කියන එකට හෙතුව ඒක කියලනම් මට තාම හිතෙන්නේ නෑ. ඒ උනාට මම වෙනස් උනා මම දන්නෙත් නැතිවම. මට උපදෙස් දෙන්න අයියලත් නෑ. දැන් අපිනේ අයියලා. ඉතින් ඔහොම තව අවුරුදු 2ක් ගියා. හැබැයි මම පස්සෙන් ගියේ නම් නෑ. හිතින් පස්සෙන් ගියත් භෞතිකව පස්සෙන් ගියේ නෑ, මොකද ඒ වෙනකොට මම ටිකක් ලොකු ලමයෙක්. හැමෝටම බොලඳ වැඩ කරන්න එපා කියලා උපදෙස් දෙන අයියා කෙනෙක්. අන්තිමේට ඒ අවුරුදු 2ත් දන්නෙම නැතිව ඉවර උනා. ඒ කාලේ ඔය පොඩි පොඩි බොලඳ වැඩ ගොඩාක් මමත් කලා. ඒ දේවල් බොරු වැඩ කියලා මම දැනගෙනත් ඇයි එව්වා කලේ කියන එක හිතන්න තරම් පුලුවන් කමක් මට තාමත් නෑ. මොකද මම තාමත් ඒ වගේ දේවල් කරන නිසා. අන්තිමේ කොහොම හරි එයා දැන ගත්තා මම එයාගේ පස්සෙන් ආවා කියන එක. ඒ වගේම මට බොහොම ගරු නම්බු නාම සහිතව කෙටි පනිවිඩ කිහිපයකුත් එවලා තිබ්බා (ඒකත් වෙනත් මිතුරියකගේ මාර්ගයෙන්) ඒ 2009 ජූලි මාසේ දිනයක. කෙටියෙන්ම කිව්වොත් ඒකේ තිබ්බේ මම මහා වාතයක් කියන එකම තමයි.
අවසානයේ මම හිත හදාගෙන බොහොම නිශ්ශබ්දව ඒ නගරයත් අත ඇරලා ආවා. ඔය හේතුව නිසා නම් නෙමෙයි මගේ ඒ නගරයේ කරන්න තිබ්බ රාජකාරිය ඉවර උන නිසා.
2010 ඔක්තෝබර් 20,
හවස 4ට විතර ඇති වෙලාව මට කෝල් එකක් ආවා. මම කතා කලාට ඒ පැත්තෙන් කතාවක් නෑ. දෙපාරක්ම ඔහොම උන නිසා මම මැසේජ් එකක් යැව්වා,
කව්ද මේ??
අයියේ ඔයාගේ වෙල්කම් ටියුන් එකනම් හරිම ලස්සනයි.. ඔන්න උත්තරේ
මට යකා නැග්ගා යකෝ මොකාද මාව අන්දන්න එන්නේ කියලා.
මම කලින් මැසේජ් එක ආපහු යැව්වා. ඔන්න ඒ පාර නම් උත්තරේ හම්බ උනා
අයියේ මම ***** කියලා..
ඒ වෙලාවෙ මට ඇතිඋන හැඟීම් විස්තර කරන්න අමාරුයි...
නමුත් මගේ තර්ක ඤාණය දාලා මම කල්පනා කරලා බැලුවා, මේක වෙන්න පුලුවන්ද කියලා.
මම මැසේජ් 3ක් යැව්වා තැන් 3කට, 2කට පිලිතුරු හම්බ උනා. හරි සැකයක් නෑ. මේ එයාම තමයි.
ඉතින් එදා ඉදන් මේ වෙනකම් මගේ ආදර කතාව ලියවීගෙන යනවා.. මට තාම කියන්න බෑ මොනව වෙයිද කියලා, අපිට හරි දේවල් තේරෙන්නේ අත්දැකීම් එක්කනේ. ඉතින් මිත්යාදෘෂ්ථිකයගේ ආදරය මතුසම්බන්ඳයි....
ප.ලි.
මට මොන දේ ගැන සර්ව සාදාරණව කතා කලත් මෙතනදී නම් මම සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී වෙලා කියලා මම දන්නවා. මම ඇත්තටම දන්නේ නෑ හොද ප්රේමවන්තයෙක් වෙන්නේ කොහොමද කියලා. මම දන්නේ මෙතනදී මම සමාන්යය කොල්ලෙකුටත් වඩා අත්මාර්ථකාමීයි කියල විතරයි. ඇත්තටම මගේ මනසේ ගොඩාක් තැන් මම වහගන්නවා ආදරය සම්බන්ඳයෙන්(අනාගතයේ තවත් දේවල් සම්බන්දයෙන් එහෙමම කරන්න වෙයිද කියලානම් මම දන්නේ නෑ). ඒක නවත්තගන්න තරම් ආත්ම ශක්තියක් මට තවම නෑ.
හැමෝම කියනවා මම ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේලු. එලියට යන්නේත් නෑ යාලුවොත් වැඩිය නෑ. කිසිම දෙයක් කරන්න ආශාවකුත් නෑ. ඔහේ කල්පනා කරන්න තියනවනම් මොනවාවත් ඕනි නෑලු.
ඇයි මේ කාටවත් තේරුම් ගන්න බැරි මම පිටින් මුඩුමයෙක් වගේ උනාට හිත ඇතුලින් මොන තරම් විචිත්ර පොරක්ද කියලා. ඔහොම කියන හැමෝම භෞතිකව වෙනස් දේවල් කරලා විචිත්රයි කියලා පෙන්නුවට ඒ ඔක්කොම මටනම් පේන්නේ මුඩුමයෝ වගේ.
මේක කියවන කවුරු හරි කෙනෙක් හිතලා තියනවද අපි අද අලුත් වැඩක් කරමු, අද චිත්රපටියක් බලමු, නැත්නම් හෙට ට්රිප් එකක් යමු, කියලා. මම දන්නවා ඔක්කොටෝම එහෙම හිතෙනවා ඇති. නමුත් හිතලා බලන්නකෝ කාටද හිතිලා තියෙන්නේ අද අලුත් වැඩක් කලාම සතුටු වෙන්න පුලුවන් කොහොමද?, ඒත් නැත්නම් ෆිල්ම් එකක් බැලුවම ඒකේ තියන රස අපේ හිත විදින්නේ කොහොමද කියලා හිතලා තියනවද?
මට ඕනි නෑ විශේෂ පුද්ගලයෙක් වෙන්න, එහෙම කියලා මම කොහොමද මට රස විඳින්න පුලුවන් දේ අත ඇරලා එක පාරටම නීරස දේවල් රසයි කියලා හිතා ගන්නේ. ඒක කරන්න ඕනිමනම් මට පුලුවන් ඒක කරන්න, මොකද මගේ මනස බොහෝම විවෘත නිසා. මගේ හැඟීම් මට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් නිසා, ඒත් මම මොකටද අනිත් අය මම ගැන හිතන විදිහ ගැන වද වෙන්නේ.
ඔතනට එනකම් පිස්සා සහ මම සමානයි කියලා මම දන්නවා, නමුත් ඔතනින් එහාට පිස්සා තමන්ට ඕනි දේ ඒ විදිහටම කරනවා. නමුත් මම බය ගුල්ලෙක් වගේ අනිත් අය ගැන හිතලා මගේ සිතුවිලි හිතේ ගුලි කරගන්නවා. හැමදාම මම හිතලා අන්තිමේට වෙන්නේ අනිත් අයට ඕනි විදිහට ඉන්න එක. මට හිතාගන්න බෑ කාටවත්ම මේක තේරුම් ගන්න බැරි ඇයි කියලා.
නෑ ඒ අය කැමති නෑ තමන් දන්න දේවල් වලින් එහාට මොනවද තියෙන්නේ කියලා හිතලා බලන්න, ඉතින් මම මොකටද ඒ අයගේ සිතුවිලි වෙනස් කරන්න යන්නේ. කටුස්සෙක් වගේ ඒ ඒ අවස්තාවට ගැලපෙන විදිහට මාත් වෙනස් වෙනවා. ඒකත් සතුටු වෙන්න පුලුවන් ක්රමයක් බලාගෙන යනකොට.
කොහොම උනත් මට පුදුම සිදුහත් කුමාරයා බුදු වෙන කාලේ මේ අය හිටියනම් එයාටත් පිස්සෙක් කියලා කියයි. මොකද අපි මේ ඇත්ත කියලා අදහන ආගමත් ඒ කාලේ මිථ්යා දෘෂ්ථික ආගමක් වගේ ඒ කාලේ මිනිස්සුන්ටත් හිතෙන්න ඇති නේ?
ඔය මොනවා උනත් මටනම් හිතෙන්නේ සත්යය දකින්න උත්සහ කරන මිනිහෙක්ට අද කාලේ දෙන නම තමයි පිස්සා. ඉතින් අපි විශ්වාස කරන විදිහට මෙත්රී බුදුහාමුදුරුවෝ බුදු වෙන කාලෙ වෙනකොට, ඒ කාලේ ඉන්න මිනිස්සු වත් පිස්සා නොකියාවි යැයි ප්රාර්ථනා කරනවා..
ප.ලි.
මාගේ අදහස නිසා යම් දැඩි මතදාරී කෙනෙකුට හෝ ඕනෑම අයෙකුට සිත් රිදවීමක් වුවා නම් මා කාරුනිකව සමාව ඉල්ලා සිටිනවා. එවන් අය මෙය මෝඩයෙකුගේ මෝඩ ලිපියක් යැයි සිතා නොසලකා හරින්නේ නම් මැනවි.
මම දන්න විදිහට මම පොඩි කාලේ ඉදන්ම ටිකක් සංවේදී පුද්ගලයෙක්. ඉතින් සංවේදී කෙනෙක් කියන්නේ සාමාන්යයෙන් පොඩි දේ ගැනත් ගොඩාක් හිතන, පොඩ්ඩක් ඇත්නම් දුක හිතෙන, ඕනිවට වඩා හැමදෙයක් ගැනම වද වෙන කෙනෙක්ට නේ. ඉතින් මමත් ටිකක් ඔය වගේ කෙනෙක් තමයි, ඉතින් මටත් ඕනි උනා වෙනස් වෙන්න, ඒ කියන්නේ ඕනිම දෙයක් ගැන වැඩිය හිතන්නේ නැති, හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න කෙනෙක් වෙන්න (මොකද හිනාව මගේ ශබ්ද කෝෂයේ නැති වචනයක් වගේ) මම අම්මාගෙන් ඇහුවා, හිනා වෙලා හිටියට කමක් නෑ ඔය විදිහට හැමදාම ඉන්න අම්මගෙ උත්තරේ තමයි ඒ. තවත් කෙනෙක්ගෙන් ඇහුවා එයත් එහෙමම කිව්වා. ඉතින් ඇත්තටම අනිත් අයව සනසලා මම දුක් විදින්නේ මොකටද කියලත් හිතුනා.අන්තිමේට මම හිතුවා තනියම පැයක් දෙකක් කල්පනා කරන්න ඕනි කියලා. ඉතින් මම කල්පනා කලා, (මම පොඩි කාලේ ඉදන්ම ගොඩක් ප්රශ්න වලට උත්තර හෙව්වේ කල්පනා කරලා) එතකොට මට හිතුන දේ ඔයාලටත් ප්රයෝජනවත් වේවි කියල හිතලයි මම මේ පෝස්ට් එක දාන්නේ.
සතුට සහ දුක
මම ඉස්සෙල්ලාම කල්පනා කලේ මේ ගැන තමයි. අපිට හැම වෙලාවකම මොන තරම් සතුටකින් හිටියත් දුක හිතෙන දෙයක් උනොත් අර සතුට ඔක්කොම අභිබවා ඒ දුක ප්රභල වෙනවනේ? ඒ උනාට මොන තරම් දුකින් හිටියත් සතුටු වෙන දෙයක් උනාමත් එහෙමම වෙනවද කියලා මම කල්පනා කලා. කල්පනා කරල බලන්නකෝ, මටනම් හිතුනේ එතනදිත් දුක තමයි ප්රභල කියලා..
මේක මාර වැඩක්නේ, නිකම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ නේ?
සංවේදීකම
ඉතින් ඇයි මෙහෙම හැම වෙලාවෙම දුක ප්රභල වෙන්නේ මට ආපු මීලඟ ප්රශ්නය,
ඒකටත් ඉතින් විසඳුම මගේ ලඟ තියනවානේ? තව ටිකක් කල්පනා කලා. ඔන්න මගේ ඔලුවට වැටුනා මොකක්ද මේකට හේතුව කියලා, හැම වෙලාවෙම අපේ හිත සංවේදී වෙන්නේ දුකට, ඒ කියන්නේ මොන තරම් කෑම ගොඩාක් තිබුනත් අපි හැම වෙලාවෙම අපි කැමතිම අපිට රසවත්ම කෑම තෝරා ගන්නවා වගේ, හිතත් ඒ විදිහටම රසවත් දේ තමයි තෝරාගන්නේ කියන එක හිතා ගන්න පුලුවන් උනා හැබැයි මේකට නම් ටිකක් විතර වෙලා ගියා
දුකේ රසය
ඔන්න මගේ ඊයේ දවසේ මෙහෙයුමේ කොටසක් ඉවරයි, මට තේරෙමින් තියනවා යම් දෙයක් කියලා මට හිතුනා. ඔහොම යනකොට තමයි මාගේ ඔලුවට ආවේ ඇත්තටම දුක කියන්නේ සතුටට වඩා රසවත් හැඟීමක් නේද කියන එක, නමුත් අපිට සමාජය කියලා දීලා තියෙන්නේ දුක කියන්නේ සතුටේ විරුද්ඩ් ක්රියාවලිය කියලා. නමුත් ඇත්තටම එහෙම නෙමෙයි. අපි හිතන විදිහ අනුවයි ඒක වෙන්නේ කියලා මට හොදටම තේරුම් ගියා. ඒක නිකම් අපි කරවිල තිත්තයි කිව්වට තවත් කෙනෙක් කරවිල බොහොම රසයි කියලා කනවා වගේ වැඩක්. ඒක හිතන විදිහ අනුව වෙනස් වෙනවනේ. සංගීතය හදාරනකොට තියෙන රස වල තියනවනේ ශෝක රසය, වීර රසය කියල දේවල් ගොඩාක්.
ඉතින් මම තීරනය කලා මගේ වෙනස් වෙන්න දෙයක් නෑ කියන එක. මොකද මට හොදටම පුලුවන් දුක රසවිඳින්නනේ, ඉතින් ඒකේ කිසිම ප්රශ්නයක් නෑ කියලා මට හිතුනා.
ප.ලි.
මට මේක දැන් මතක් උනේ බුදු හාමුදුරුවොත් කිව්වා නේද අෂ්ට ලෝක දර්මයක් ගැන, මම ඒක ඉගෙන ගෙන තිබ්බට දෙන් දන්නවා එහෙම එකක් ඇත්තටම තියනවා කියලා