2010/12/14

මිත්‍යාදෘෂ්ථිකයාගේ ආදරය.

හැමෝම වගේ බ්ලොග් වල තමන්ගේ ආදරය ගැන ලියනවානේ, ඉතින් මිත්‍යාදෘෂ්ථිකයාත් කල්පනා කලා තමන්ගේ ආදර කතාවත් මේකේ ලියන්න. හැබැයි ඉතින් මේක රොමෑන්ටික් ආදර කතාවක් නම් නෙමෙයි.


වසර 4කට පෙර,,,
    එක සෙනසුරාදා දවසක් ඒක, ටියුෂන් ක්ලාස් එක ඉවර වෙලා ආවා බස් හෝල්ට් එකට. ඒක ටිකක් මම ජීවත් උන නගරයට ටිකක් දුරින් තිබ්බේ, ඒ නිසා ඉතින් මට වැඩිය යාලුවෝ නෑ මගේ අතීසාර පණවගේ මිත්‍රයා නන්දේ සහ මම බස් හෝල්ට් එකේ හිටියේ. එතකොට තමයි ක්‍රිම් පාට ත්‍රී ක්වාටර් එකක් සහ රතු ටී ෂර්ට් එකක් ඇදගත්ත කෙට්ටුම කෙට්ටු ගෑනු ලමයෙක් බස් හෝල්ට් එකට ආවේ. මට දැක්ක ගමන් හිතුනේ මහ ආඩම්බර කෙල්ලෙක් වගේ කියලා. පොඩ්ඩක් හොයලා බලනකොට මම හිතුවා හරියටම හරි. ඒ අපේ ක්ලාස් එකට එන නංගී කෙනෙක්. මීටරයක් නිසා තමයි සර් එයාව අපේ පංතියට දාලා තියෙන්නේ. දවසක් දෙකක් ඔහොම යනකොට මෙන්න එයා යන්නෙත් මම යන බස් එකේමයි. මමත් ඉතින් ටිකක්  ඔලුවෙන් හිටියේ ඒ දවස් වල. මොකද මම හිතාගෙන හිටියේ මම ටිකක් හැන්ඩ්සම් පොරක් කියලා, ඕක ඉතින් ඔය කාලෙට කොල්ලොන්ට තියන ලෙඩක්නේ.
ඒ උනාට ඉතින් මම යාලුවොන්ට කිව්වේ..
 මම යන බස් එකේ යන හින්දා බං නැත්නම් මම කෙල්ලෙක්ගේ පස්සෙන් යයිද කියලා..
ඒ උනාට ටික දවසකින් මටම තේරුනා මමත් මේ කතාවෙදි අනිත් හැම එකාම වගේ ටිකක් බොලඳ උනා කියලා. මොකද මම හිටියේ හොස්ටල් එකේ ඉතින් ඕකේ එකෙක් දැනගත්තා කියන්නේ වෝල් එකට දැම්මා වගේ නේ. ඉතින් අපේ බුද්ඩිමත් අයියලා කිව්වේ,
මල්ලී ඕක වයසේ හැටි උබට ඔය තියෙන්නේ පොඩි ආකර්ශණයක් විතරයි කියලා.
මමත් ඉතින් කල්පනා කලාම ඒ කතාව ඇත්ත තමයි කියලා මටත් හිතුනා,
ඉතින් ඔහොම ගිහින් 2006 අවුරුද්ද ඉවර උනා. මම මගේ ආදරේ ප්‍රකාශ කලේ නැත්තේ ඒ කෙල්ල කිව්වනම් අයියේ අපිට එහෙම දෙයක් ගැන හිතන්න තරම් වයසක් නෑ කියලා මට වස ලැජ්ජාවනේ ඒකයි.
ඉතින් මම පස්සෙන් ආවා කියලා එයා දන්නෙත් නැතිවම මගේ ආදර කතාව ඉවර උනා.


වසර 2කට පෙර...
   අපි දැන් ලොකු අයියලා, තාම ටියුෂන් ගියාට දැන් ටියුෂන් යන්නේ ලොකු ලොකු විජ්ජා විෂයන් වලට. ඉතින් මගේ රසායන විජ්ජා පංතිය ඉවරවෙලා එලියට එනකොට මෙන්න බොලේ දැකලා පුරුදු මූනක්, මට එක පාරටම හිතාගන්නත් බෑ. ඒ වෙනකොට මම හිතන් හිටියේ මගේ හිතේ ඇති උන බොලඳ ප්‍රේමය ඉවර වෙලා කියලා, මොකද කෙල්ලොන්ට විහිලු කරල යලුවොත් එක්ක පොඩි ජොලියක් දාගෙන හිටපු කාලෙ ඉවර උනා කියන එකට හෙතුව ඒක කියලනම් මට තාම හිතෙන්නේ නෑ. ඒ උනාට මම වෙනස් උනා මම දන්නෙත් නැතිවම. මට උපදෙස් දෙන්න අයියලත් නෑ. දැන් අපිනේ අයියලා. ඉතින් ඔහොම තව අවුරුදු 2ක් ගියා. හැබැයි මම පස්සෙන් ගියේ නම් නෑ. හිතින් පස්සෙන් ගියත් භෞතිකව පස්සෙන් ගියේ නෑ, මොකද ඒ වෙනකොට මම ටිකක් ලොකු ලමයෙක්. හැමෝටම බොලඳ වැඩ කරන්න එපා කියලා උපදෙස් දෙන අයියා කෙනෙක්. අන්තිමේට ඒ අවුරුදු 2ත් දන්නෙම නැතිව ඉවර උනා. ඒ කාලේ ඔය පොඩි පොඩි බොලඳ වැඩ ගොඩාක් මමත් කලා. ඒ දේවල් බොරු වැඩ කියලා මම දැනගෙනත් ඇයි එව්වා කලේ කියන එක හිතන්න තරම් පුලුවන් කමක් මට තාමත් නෑ. මොකද මම තාමත් ඒ වගේ දේවල් කරන නිසා. අන්තිමේ කොහොම හරි එයා දැන ගත්තා මම එයාගේ පස්සෙන් ආවා කියන එක. ඒ වගේම මට බොහොම ගරු නම්බු නාම සහිතව කෙටි පනිවිඩ කිහිපයකුත් එවලා තිබ්බා (ඒකත් වෙනත් මිතුරියකගේ මාර්ගයෙන්) ඒ 2009 ජූලි මාසේ දිනයක. කෙටියෙන්ම කිව්වොත් ඒකේ තිබ්බේ මම මහා වාතයක් කියන එකම තමයි.
 අවසානයේ මම හිත හදාගෙන බොහොම නිශ්ශබ්දව ඒ නගරයත් අත ඇරලා ආවා. ඔය හේතුව නිසා නම් නෙමෙයි මගේ ඒ නගරයේ කරන්න තිබ්බ රාජකාරිය ඉවර උන නිසා.


2010 ඔක්තෝබර් 20,
          හවස 4ට විතර ඇති වෙලාව මට කෝල් එකක් ආවා. මම කතා කලාට ඒ පැත්තෙන් කතාවක් නෑ. දෙපාරක්ම ඔහොම උන නිසා මම මැසේජ් එකක් යැව්වා,
 කව්ද මේ??
අයියේ ඔයාගේ වෙල්කම් ටියුන් එකනම් හරිම ලස්සනයි.. ඔන්න උත්තරේ
මට යකා නැග්ගා යකෝ මොකාද මාව අන්දන්න එන්නේ කියලා.
මම කලින් මැසේජ් එක ආපහු යැව්වා. ඔන්න ඒ පාර නම් උත්තරේ හම්බ උනා
අයියේ මම ***** කියලා..
ඒ වෙලාවෙ මට ඇතිඋන හැඟීම් විස්තර කරන්න අමාරුයි...
නමුත් මගේ තර්ක ඤාණය දාලා මම කල්පනා කරලා බැලුවා, මේක වෙන්න පුලුවන්ද කියලා.
මම මැසේජ් 3ක් යැව්වා තැන් 3කට, 2කට පිලිතුරු හම්බ උනා. හරි සැකයක් නෑ. මේ එයාම තමයි.


ඉතින් එදා ඉදන් මේ වෙනකම් මගේ ආදර කතාව ලියවීගෙන යනවා.. මට තාම කියන්න බෑ මොනව වෙයිද කියලා, අපිට හරි දේවල් තේරෙන්නේ අත්දැකීම් එක්කනේ. ඉතින් මිත්‍යාදෘෂ්ථිකයගේ ආදරය මතුසම්බන්ඳයි....


ප.ලි.




 මට මොන දේ ගැන සර්ව සාදාරණව කතා කලත් මෙතනදී නම් මම සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී වෙලා කියලා මම දන්නවා. මම ඇත්තටම දන්නේ නෑ හොද ප්‍රේමවන්තයෙක් වෙන්නේ කොහොමද කියලා. මම දන්නේ මෙතනදී මම සමාන්‍යය කොල්ලෙකුටත් වඩා අත්මාර්ථකාමීයි කියල විතරයි. ඇත්තටම මගේ මනසේ ගොඩාක් තැන් මම වහගන්නවා ආදරය සම්බන්ඳයෙන්(අනාගතයේ තවත් දේවල් සම්බන්දයෙන් එහෙමම කරන්න වෙයිද කියලානම් මම දන්නේ නෑ). ඒක නවත්තගන්න තරම් ආත්ම ශක්තියක් මට තවම නෑ.

9 comments:

  1. සහෝදරයා....ඔය කාලෙ අපිත් ඔහොම තමයි. මුලින්ම සිරා ලවු කරන්න ගියාම ඔහොම චාටර් කන්න වෙනව. ඒ හැටි. ඒ උනාට එහෙම අයටම තමා කවදහරි හොඳ කෙනෙක් හම්බවෙන්නෙ. කරන දෙයක් පිලිවෙලට කරගෙන යන්න. වරදින්නෙ නෑ. ජය නියතයි...!!!!!!!!!

    ReplyDelete
  2. චතුරංග සහෝදරයා බොහොම ස්තුතියි අදහසට. අපි දෙන්නා දකින කෝණ දෙකනම් පොඩ්ඩක් වෙනස් කියලා මට හිතෙන්නේ. කොහොම උනත් ඔයාගේ අදහස් මට ගොඩාක් වටිනවා.

    ReplyDelete
  3. මම කතාව බැලුවා !

    මම බොක්කෙන්ම සුබ පතනවා ! ඕන උදවුවක් ඉල්ලපං උඹ ලෝකේ කොහේ හිටියත් මගේ උදවු උඹට

    ජයවේවා !!

    ReplyDelete
  4. හිsඅහස බොහොම ස්තුතියි අදහසට. අනිවා ඕනි කේස් එකකදි ඉස්සෙල්ලාම කතා කරන්නේ ඔයාට.

    ReplyDelete
  5. ‍ඔන්න සහෝ මගෙනුත් සුබපැතුම්....

    word verification අයින් කලොත් නරකද? :)

    ReplyDelete
  6. @ ළමයා මම මේකට තාම අලුත් නේ, බොහොම ස්තුතියි අදහසට. මම දැන්ම ඒක අයින් කරන්නම්.

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම් මගෙනුත් සුභපැතුම් යාළු

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි යාලු.

    ReplyDelete
  9. ඉතුරු ටික...?

    ReplyDelete