2010/12/18

[අ]මිහිරි අතීතයකින් අනාගතයට සටහනක්...



මිත්‍යාදෘෂ්ථිකයටත් හිතුනා කතාවක් ලියන්න, හැබැයි ඒක ඇත්තද බොරුද කියන එකනම් ඒ තරම් වැදගත් නෑ..





ඔන්න එකෝමත් එක කාලෙක හිටියා පොඩි කොලු ගැටයෙක්. මේ ළමයා නතරවෙලා හිටියේ පාසලේ නේවාසිකාගාරයේ, ඉතින් ඔහොම ඉන්න කොට ටියුෂන් පංතියකට යමු කියලා මේ ළමයගේ යාලුවෙක් යෝජනාවක් ගෙනාවා. ඉතින් ටියුෂන් පංතිය මුවාවෙන් හරි පොඩ්ඩක් එලියට පැනගන්න හිතුන මේ ළමයත් එයාගේ යාලුවොත් අන්තිමේට ඒ පංතියට යන්න තීරණය කලා.
                  ඔහොම හැම සති අන්තයේම පංති යන මේ ළමයගේ හිත් ගත්තු ගෑනු ළමයෙක් හිටියා ඒ පංතියේම. ඒ උනාට ඒ ගෑනු ළමයාගේ හිතේ වෙන කෙනෙක් ගැන අදහසක් තිබ්බා. ඒ නිසාම එයාට හිතුනේ මේ පස්සෙන් එන කොල්ලානම් හරිම වාතයක් කියලා. ඔය කිසිම දෙයක් නොදන්න අර මෝඩ කොලුවා තවත් ඒ ගෑනු ළමයා ගැනම හිතාගෙන හිටියා. ඉතින් ඔය විදිහට ඒ පංතිය නතර උනා. ඒත් ඔහු අත ඇරියේ නෑ. ඔහු හොදින්ම දැනගෙන හිටියා තමන්ගේ හිතේ නියම ආදරයක් ඇති වෙන්න තවම හරි වයසක් නෑ කියලා. ඒත් විස්තර කරන්න බැරි හැඟීමක් ඔහුගේ හිතේ ඇති වෙමින් තිබුනා.
                ඔහොම දින සති මාස ගෙවිලා අවුරුද්දකුත් ගෙවුනා. ඔය කාලයේදී අපේ කතා නායකයා එක එක දේවල් කලා, ඒ මතකයන් අමතක කරන්න. මට කියන්න අමතක උනා ඒ ළමයාගේ ලොකු දුර්වල කමක් තිබුනා ඒ තමයි ගොඩාක් සිහින මවන එක. ඉතින් ඒ සිහින වලින් අර ගෑනු ළමයා එලවන්න මොන දේ කළත් හරි ගියේ නෑ. 
          ඒ අතරතුර ඒ ගෑනු ළමයා තමන්ගේ හිතේ හිටිය කෙනාට ටික ටික සමීප උනා (මිතුරෙක් විදිහට). ඔය ගැන ආරංචිය අපේ කතානායකයටත් ආවා. ඔහුට ඒ වෙලාවේ ඇතිඋනේ කියන්න බැරි තරම් දුකක්, වේදනාවක්. ඔහු හිතුවේ එතන මිතුරු කමකට එහා ගිය සම්බන්ඳයක් ඇති කියලයි. ඔහු මොන තරම් හැඟීම්බර උනත් නොදන්න කෙනෙක්ට ඒක පෙන්නන්නේ නෑ. ඒ නිසා ඔහු බොහොම පහසුවෙන් ඒක ගානක් වත් නැති ගානට හිටියා. ඒ වගේම එයාට වෙන ගෑණු ලමයෙක් ගෙනාව යෝජනාවකට කැමති උනා. නමුත් මේ මෝඩයා දන්නේ නෑ කොහොමද කෙල්ලෙකුගේ හිත දිනාගෙන ඉන්නේ කියලා. ඔහුට ඒක දැනගන්න ඕනි උනෙත් නෑ. ඔහු බැලුවේ එයාගේ හිතේ හිටිය ගෑනු ළමයට රිදවන්නේ කොහොමද කියලා විතරයි. නමුත් මේ මෝඩයාට තේරුනේ නෑ. ඇයට කොහොමටවත් ඒක දුකක් නොවන විත්තිය.
 ඔහු ඇයට පේන්න ඇය ඉස්සරහින් ගියා. ඇය දැක්කම අහක බලාගත්තා, ඔය වගේ මෝඩ වැඩ ගොඩාක් කලා. සරලවම කිව්වොත් හොද නලුවෙක් උනා. ඉතින් මේක දැකපු අර ගෑනු ළමයා එයාගේ යාලුවොන්ට මේ ගැන කියමින් හොදට විනෝද උනා, ඔය කිසිම දෙයක් සිහින ලෝකෙක ජීවත් උන ඔහු දැනගෙන හිටියේ නෑ. ඔහු බලෙන්ම හිතාගත්තා තමන්ට ලැබුණු ආරංචිය බොරු කියලා. නමුත් අර ගෑනු ළමයා ඔහු ගැන ඇයගේ හිතේ හිටිය ළමයටත් කියලා තිබ්බා. ඉතිං පන්තිවලදී සමහර කොල්ලෝ නෝන්ඩියට හිනා වෙනකොට ඔහු හිතුවේ මේ ඇත්තටම හිතවත් කමට හිනාවෙන්නේ කියලා ඔහුත් හිනා උනා.
                කොහොම හරි ඔහුට පාසල් දිවිය අවසාන වෙන කාලෙදිවත් ඒ ගැන කිසිම දෙයක් දැනිලා තිබ්බේ නෑ. ඔහු හැමෝටම පණ්ඩිත විදිහට ජීවිතය ගැන කියලා දුන්නා. අනවශ්‍ය විදිහට බස් වල, පාක් වල හැසිරුන හැටි යාලුවෝ කියද්දි ඔහු ඔවුන්ට කොලොප්පමට හිනා උනා, ජංගම දුරකතන නිතරම කනේ තියාගෙන ඉන්න යාලුවොන්ට බැනවැදුනා. ඔහු හිතුවේ ඔහු මහා වීරයෙක් කියලා. 
                               ඔහොම තවත් වසර දෙකක් විතර ගියාට පස්සේ තමයි ඔහු ඒ වෙනකම් උන සියලුම දේවල් දැන ගත්තේ. ඔහුට ඇතිඋනේ සෙනඟ ගොඩක් මැද්දේ නිරුවත් උන හැඟීමක්. ඔහුට ඇස් වලට කදුළු ආවා. නමුත් ඒ වසර දෙකෙදී ජීවිතය ඔහුට ගොඩාක් දේවල් කියල දීල තිබුනා. ඒ නිසා ඔහු ඔහුම කල දේවල් වලින් හොද පාඩමක් ඉගෙන ගත්තා. හැඟීම් කියන දේ අවස්ථාව අනුව වෙනස් වෙන බව ඉගෙන ගත්තා. තමාට හැඟීම් වලට වහල් වී ගන්න හැම තීරණයක්ම පසුව දුකක් බව ඔහු ඉගෙන ගත්තා.  
          නමුත් ඔහු දන්නවා ඔහු තාමත් හැඟීම් මඟ ඇර තීරනයන් ගැනීමට තරම් ශක්තිමත් නැති බව. ඒ නිසාම ඔහුට තේරෙනවා තමන් කරන කියන දේවල් නිසා අනාගතයේ නැවතත් දුක් වීමට ඉඩ ඇති බව. ඔහු ඒ බව දැනදැනත් නැවත නැවතත් රසවත් හැඟීමකට වහල් වෙලා. ඔහුට අතීතය කියලා දිලා තිබුනත්  50% ක් නැවත සිනාවට ලක්වීමේ අවදානමක් ඇති බව, ඔහුට ඔහුගේ හැඟීම් වලින් පලායන්න තවම හැකියාවක් නෑ.


ප.ලි.
මම ඔහුට දැඩි ලෙස අවවාද කලත් ඔහු ඒ ගැන තැකීමක් නෑ. කමක් නෑ. ඔහුට යම් දවසක කලින් වගේම උනොත් මම එදාටත් ඔහුට අවවාද කරනවා, එහෙම ඇහුවේ නැත්නම් ඊලඟ පාරත්. මම සහ ඔහු එකට ඉන්නකම් මම ඔහුට ඔය ගැන කියලා දෙනවා.

6 comments:

  1. මට හිතාගන්න පුළුවන් ...

    ජයවේවා !!

    ReplyDelete
  2. ම්ම්ම් අනේ මන්දා????????

    ReplyDelete
  3. බොහොම ස්තුතියි යන එන ගමන් මගේ බ්ලොග් එකටත් ගොඩ වැදුනට යාලුවනේ.

    ReplyDelete
  4. මටත් ඔය වගේ අත්දැකීමක් තියනව. ඔය වගේ තත්වයකදි හිතට ඇතිවෙන වේදනාව මට තේරුම් ගන්න පුලුවන්. ඔය වගේ දේවල් කාලයත් එක්ක මගහැරිලා යනව. ඔයාට උනත් හිතෙනව ඇති සමහර විට මම කරපු මෝඩ වැඩක් කියල. ඉතින් සහෝදරයා, මට ඔයාට දෙන්න තියන උපදෙස නම් විඳපු අත්දැකීම් ඇසුරෙන් අනාගතය ගොඩනගා ගන්න කියන එක. සමහරු වගේ බෝතලෙන් ඕවට උත්තර හොයන්න නම් එපා. ඔයා අටලෝදහම විශ්වාස කරනවනේ.ජයවේවා..!!!

    ReplyDelete
  5. බොහොම් ස්තුතියි මිත්‍රයා, මේ මගේ අත්දැකීමක් කියලද හිතෙන්නේ?? කමක් නෑ. බෝතලෙන් විසදුම් හොයන්නේ නැති උනාට ඒකත් හොද ජොලි වැඩක්. අත්දැකීමෙන් මමත් කියන්නේ මේ පැත්තට ගොඩ වැදුනට ගොඩාක් ස්තුතියි. ඔයා හැමදාම මේක කියවන එක මට ලොකු සතුටක්.

    ReplyDelete
  6. ම්....මම හිතුවෙ මේක ඔයගෙ අත්දැකීමක් කියල. එහෙම නොවුනත් කමක් නෑ ඉතින්. මට එහෙම අත්දැකීමක් තිබ්බ කියපු එකනම් ඇත්ත. ඔයා මට මල්ලි කෙනෙක් වගේ නිසා මම මෙහෙම කියන්නම්, බොන එක ජොලි වැඩක් වෙන්න පුලුවන්. ඒත් ඒක දුර්වල බවේ සංකේතයක්. වෙන කාට ඒක සුදුසු උනත් ඔයා වගේ කෙනෙක්ට ඒක සුදුසු නෑ. කොහොම උනත් මේක මගෙ අදහසක් විතරයි වැදගත් නැත්නම් නොසලකා හරින්න. ඔබට ජය...!!!!!!!!

    ReplyDelete